මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිතර අසන්නට ලැබෙන, ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ප්‍රිය කරන ගීයක පද පේළියකි ඒ. එසේ ආරම්භයේදීම එම වදන් පෙළ ඔබ වෙත ගෙන එන්නට මා හැඟුණේ එහි ගැබ්ව ඇති ගැඹුරු අර්ථයත්, මෙම ලිපිය තුලින් ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වන අන්තර්ගතයේ ඇති කාලෝචිත බවත් ගසට පොත්ත මෙන් එකිනෙක තදින් සම්බන්ධ වන නිසාවෙනි.
“රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ…”
ඉහත සඳහන් කළ ගීතයේ ආරම්භක පද පෙළ තුළින්ම අපගේ මාතෘ භූමිය පිළිබඳව හඳුන්වා දෙන්නේ මෙලෙසිනි. ඇත්තෙන්ම එය සත්‍යයක් ම බව මට ද හැඟේ. ශ්‍රී ලාංකිකයෙකු වීම තරම් ආඩම්බර විය හැකි තවත් යමක් මට මෙන්ම ඔබටද නැතැයි මම සිතමි. ප්‍රෞඪ මෙන්ම දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව එකල පෙරදිග ධාන්‍යාගාරය, ඉන්දියන් සාගරයේ මුතු ඇටය වැනි විරුදාවලි වලින් හැඳින්වීම තුළින් ම අප රට පිළිබඳව විදේශ ජාතීන් තුළ අතීතයේ තිබූ පිළිගැනීම මනාව පිළිබිඹු වේ. එපමණක් නොව, අප රටේ ඇති සුන්දරත්වය ගැන නොඅසා ඇති පුද්ගලයකුද මේ මිහිපිට නොමැති තරම්ය. එයින්ද ඇතැමෙකු එම සුන්දරත්වය සියැසින්ම අත් විඳීමට තරම් වාසනාවන්ත වී හමාරය. දිවයිනම වටකරමින් ඇති ඉන්දියන් සාගරයත්, රට මධ්‍යයේ පිහිටි සුන්දර කඳුකරයත්, ඒවා යාකරමින් ගලා බසින ගංගාත් එම සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි. එපමණක් නොව, ශුෂ්ක ප්‍රදේශයක සිට කිලෝමීටර් 200 ක් වැනි දුරක් ගෙවා ගොස් ශීත ප්‍රදේශයකට ළඟා වීමට තරම් විශ්මයජනක භූ විෂමතාවක් මෙන්ම දේශගුණ වෙනස් වීමක් ද අප රට තුළ දැකිය හැකිය.
එහි සුන්දරත්වය පිළිබඳව කෙතරම් ආඩම්බර විය හැකි වුවද එදා පටන් අද දක්වා ශ්‍රී ලංකාව නම් වූ සුන්දර කාන්තාව ගෙවා ඇති දිවිය නම් එතරම් සුන්දර එකක් නොවීය. ඒ බව ඉතිහාස පොත් මෙන්ම වර්තමානයේ දී අප අත්දකින, අත්විඳින දේ ද මනාවට උදාහරණ සපයා දෙයි. රජ කාලයේ පටන්ම මෙරටට විවිධ ආක්‍රමණ එල්ල විය. ඉන්පසු යුරෝපා ජාතීහු ත්‍රිත්වයක් ද මෙරට ආධිපත්‍යය වසර 450කට ආසන්න කාලයක් පතුරවාගෙන සිටියහ. ඇතැම් කාලවල දී දේශපාලනික, ආර්ථික, ආගමික කරුණු මුල්කරගෙන විවිධ ගැටුම්, මනුෂ්‍ය ඝාතන පවා ඇති වූ අවස්ථා තිබේ. අපි තිස් වසරක කුරිරු ඊලාම් යුද්ධයකින්ද බැටකෑ ජාතියක් වෙමු. එපමණක් නොව වරින්වර ආ සුනාමි, ගංවතුර වැනි ව්‍යසනයන්ට ද මුහුණදීමට ලක්වාසීන්ට සිදුවිය. මේ සෑම අවස්ථාවකදීම අප රටේ මිනිසුන්ට මුදල්, දේපළ මෙන්ම ජීවිත වලින් ද වන්දි ගෙවීමට සිදුවිය.
අපි කෙතරම් බාධක, දුක් කම්කටොලු මුණගැසුණද ඉන් නොසැලුණු ජාතියක් වෙමු. පැමිණි දුක් පැණි රස කරගෙන එම බාධක වලින් ගොඩ ඒමට සමත්කම් දැක්වූ ජාතියක්ද වෙමු. කෙතරම් බාධක පැමිණියත් ඒවා ඉදිරියේ නැගී සිටි අප, ජාත්‍යන්තරය ඉදිරියේ පවා ලබා ඇති ජයග්‍රහණ බොහෝය. ඔලිම්පික් පදක්කම් අපට ඇත. පැරාලිම්පික් පදක්කම්ද අපට ඇත. ක්‍රිකට් ලෝක කුසලාන ද්විත්වයක හිමිකාරිත්වය අපට ඇත. රංගන, ගායන වැනි අංශවලින් ශ්‍රී ලාංකිකයන් ජාත්‍යන්තරය ඉදිරියේ ජයග්‍රහණ ලැබූ අවස්ථා දක්නට ඇත. කෙතරම් බාධක පැමිණියද ඒවාට ඉවසීමෙන්, එකමුතුවෙන් මුහුණ දී ඒවා ජයග්‍රහණය කිරීමට අපට හැකිවී ඇත. එදා, අද මෙන්ම හෙටත් එසේම වනු ඇත. වර්තමානයේදී ද අපට එළැඹ ඇත්තේ එතරම්ම සුභදායි කාලයක් නොවේ. නමුදු මෙය අප ඉවසා දරා සමගියෙන් ගොඩ ආ යුතු කාලයකි. සෑම අඳුරු වළාකුලකම රිදී රේඛාවක් ඇත්තා සේ මෙම ගැටලුකාරී සමය ද යම් දිනක අවසන් වී යනු ඇත. එතෙක් නොසැලී, ඉවසීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එක පිට එක පැමිණෙන කරදර දැනටමත් බොහෝ අයව කායිකව මෙන්ම මානසිකවද පීඩනයට ලක් කර හමාරය. නමුත් අපි ඉවසමු. මනසින් ශක්තිමත් වෙමු. මේ සියලු දේ හමාර වන දිනය වැඩි ඈතක නොවනු ඇත.
මෙය කුලමල, ආගම් බේද නොසලකා සියලුම දෙනාට ඉතාමත් අපහසු කාලයකි. එමනිසා එකිනෙකාට උදව් උපකාර කරගනිමින් ජීවත් වීම අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ. උද්ධමනය ඇතුළු ඇතැම් අනෙකුත් සාධක හමුවේ අප රටේ බොහෝ දෙනා ඉතා විශාල ජීවන අරගලයක යෙදෙමින් සිටිති. තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින, අප වැනි රටකට මෙවැනි අර්බුද මහත් සේ බලපායි. ඇති හැකි අය නැති බැරි අයට උදව් කළ යුතු සුදුසුම කාලය මෙය යැයි මට හැඟේ. ආහාරපාන පමණක් නොව තමන් පාවිච්චි නොකරන විවිධ උපකරණ, ඇඳුම් පැළඳුම් වැනි දෑ අගහිඟකම් ඇති අයට ලබාදීම ඔවුන්ට කරන මහඟු උපකාරයක් වනු ඇත. මං මාවත්වල, බස් හා දුම්රිය වල සුළු සුළු ආහාරපාන හා වෙනත් ද්‍රව්‍ය විකුණා එදාවේල පිරිමසාගන්නා දුප්පත් මිනිසුන්ගෙන් තමන්ට අවශ්‍ය දෑ සුළු වශයෙන් හෝ මිලදී ගැනීම වැනි උපකාරද ඔවුන්ට මහත් සේ අස්වැසිල්ලක් වනු ඇත.
එපමණක් නොව අප ද අපගේ ආහාරපාන, විදුලිය, ජලය ආදිය අපතේ යැවීම අවම කළ යුතුය. අනවශ්‍ය විදුලි පහන්, ජල කරාම, විදුලි පංකා නිවා දැමිය යුතුය. අනවශ්‍ය ගමන්බිමන් සීමා කළ යුතුය. දේශීය ආහාර වේල්වලට හුරුවිය යුතුය. හැකිනම් ගෑස් ලිප් වෙනුවට දර ලිප් භාවිතයට හුරු විය යුතුය. සුළුවෙන් හෝ මෙම අර්බුදයෙන් ගොඩ ඒමට ඒවා මහත් උපකාරයක් වනු ඇත.
"තාරුණ්‍යයේ හදවත් සීරුවෙන්
අවශ්‍යම තැන අපි සීරුවෙන්"
රටක ජීවනාලිය එම රටේ තරුණ පරපුරයි. ජවයෙන් මෙන්ම ක්‍රියාශීලීත්වයෙන් ද වැඩි තරුණ පරපුරට රටේ ඉදිරි ගමනට දැක්විය හැකි දායකත්වය බොහෝය. තරුණ ප්‍රජාව වන අප මෙවැනි කාලවලදී මනසින් ශක්තිමත්ව, ඉවසීමෙන් කටයුතු කිරීම අන් අයට ද මහඟු රුකුලක් වනු ඇත. නිතරම ධනාත්මක ආකල්පයෙන් යුතුව තම දායකත්වය රටට ලබා දීම අපගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට වැඩිම කාර්යභාරයක් කළ හැක්කේ ද තරුණයන් වන අපටයි. ඉතාම ඉවසීමෙන්, සියලු දෙනාම සමඟ එකමුතුවෙන්, සමගියෙන් මෙම ජාතික ප්‍රශ්නයට අපි මුහුණ දෙමු. එකිනෙකාට හැකි සෑමවිටම උදවු කර ගනිමු. එදා මෙන් කවදත් ශ්‍රී ලාංකිකයෝ අන්‍යයන්ට උපකාර කිරීමෙහිලා ජාත්‍යන්තරයේ බොහෝ පිළිගැනීමට ලක් වන්නෝ වෙති. ඉතින් මේ පැමිණ ඇත්තේ අපගේම සහෝදර ලක්වාසීන් ඔවුනොවුන්ට උපකාර කරගත යුතු කාලයයි. කිසිවිටෙකත් භේද ඇති කර නොගනිමු. අනෙක් අයටද මානසිකව ශක්තියක් වීමට කටයුතු කරමු.
1945 දී පරමාණු බෝම්බ හමුවේ ජීවිත හානි හා දේපළ හානි රාශියකට මුහුණ පෑ ජපානය අද ආසියාවේ බලවතෙකු ලෙස නැඟී සිටින්නේ ඔවුන්ගේ එකමුතුවත්, අධිෂ්ඨානය හා කැපවීමත් නිසාවෙනි. අපට ද කළ නොහැක්කක් නොමැත. ඇසෙන දකින දේ පිළිබඳව නුවණින් සිතා බලා කටයුතු කරමු. සියලු දෙනාටම ආදරය, කරුණාව දක්වමු.
"ඉවසා ඉවසා බැරිම තැන
එයයි ඉවසිය යුතුම තැන"
By Rtr. හිරුෂ මුණසිංහ
Image credits :
Leave a Reply