දිනෙන් දින දියුණු වන තාක්ෂණයත් සමග පියවරෙන් පියවර ඉදිරියට යන ලෝකයේ, මිනිසා ජයගෙන ඇති දෑ බොහෝ ය. නමුත් කිසිඳු දෙයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පමණක්ම තිබෙනු දක්නට නොලැබේ. අඩියෙන් අඩිය සාර්ථකත්වය කරා පියමනින ගමනේදී ඒත් සමගම මිනිසාට මුහුණ දීමට සිදුව ඇති වක්රාකාර ගැටලු හා අභියෝග ද රාශියකි. එම ගැටලු හා අභියෝගවල ප්‍රධානතම ගොදුර බවට පත්ව ඇත්තේ තාරුණ්‍යය යි. එසේ මුහුණ පෑමට සිදුව ඇති ප්‍රධාන ගැටලුවක් ලෙස “මානසික ආතතිය” පෙන්වා දිය හැකි ය.

“ආතතිය” යනු යම්කිසි පීඩනකාරි තත්වයකි. එම නිසා “මානසික ආතතිය” යනු මනසට ඇතිවන පීඩාකාරී ස්වභාවයක් ලෙස සරලව හැඳින්විය හැකි ය . මනසට කිසියම් ආවේගී ස්වභාවයක් දැනුන විට හෝ මනසට පීඩන ගතියක්/ බර ගතියක් දැනුනු විටකදී වුව ද සුළු මානසික ආතති අවස්ථාවන්ට එළැඹිය හැකි ය. එදිනෙදා සාමාන්‍ය දෛනික කටයුතු කරගෙන යාමේදී ද ඇතැම් විට ඉතාමත් මද වශයෙන් මානසික ආතති තත්ත්වයන් පැවතිය හැකි ය. මනෝ විද්‍යාඥයින්ගේ මතය වන්නේ, මෙම මද වශයෙන් ඇතිවන මානසික ආතතිය දෛනික කටයුතු කිරීමට උනන්දුව ඇති කිරීම හා ක්‍රියාශීලී බව වැඩි කරමින් එම කටයුතු සාර්ථකව කරගෙන යාමට උපකාරී වන බවයි.
එම සුළු මානසික ආතති තත්ත්ව හැරුණු කොට සාමාන්‍ය මානසික ආතතිය මිනිසාට එතරම් හිතකර ප්‍රතිඵල ගෙන දෙන්නක් නොවේ. මක්නිසාද යත්, මානසික ආතතිය පුද්ගල පෞරුෂත්වය සමග මනාව සම්බන්ධ වන කරුණක් බැවිනි. මානසික ආතතිය යටතේ කටයුතු කිරීමත් එය විඳ දරා ගැනීමත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. මානසික ආතතියට ලක්වීම නොව, මානසික ආතතිය විඳ දරාගෙන එයින් මිදෙන ආකාරය, පුද්ගල පෞරුෂත්වය මනාව පිළිබිඹු කරයි. මානසික ආතතිය යනු තවත් එක් ස්වභාවික චිත්තවේගයක් පමණක් විනා රෝගී තත්ත්වයක් නොවේ. නොරිස්සුම් ගතිය, අනිසි බිය, සෘණාත්මක සිතුවිලි, චිත්ත ඒකාග්‍රතාව බිඳ වැටීම, අමතක වීම, ශරීර වේදනාවන් හා හිසරදය, ලිංගික කටයුතු අකර්මණ්‍ය වීම, දහඩිය දැමීම, වැනි ලක්ෂණ මානසික ආතතියක ලක්ෂණ කිහිපයක් ලෙස ගෙනහැර දැක්විය හැකි ය .
මානසික ආතතිය සඳහා හේතු සාධක වන දෑ දැනගෙන සිටීම අතිශයින් වැදගත් වේ. නමුත් සෘජුවම මේවා හේතු වේ යැයි ගෙන හැර දැක්වීමට කරුණු හඳුනා ගැනීම අපහසු ය. ඒවා ද පුද්ගලානුරූපීව වෙනස් වේ. නමුත්, පුද්ගලයන් බොහෝ දෙනෙකුට පොදු වූ හේතු සාධක කිහිපයක් හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇත. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම දරුණු මානසික කඩා වැටීම් හේතු වේ. තරුණ ප්‍රජාව අතරේ මූලිකවම ආදර සම්බන්ධතා බිඳ වැටීම්, සමීපතමයන්ගෙන් සිදුවන වෙන්වීම් හෝ සමීපතමයන්ගේ මරණයන්, බලාපොරොත්තු බිඳවැටීම්, රැවටීම් හෝ සිත් රිදවීම්, වැනි කරුණු නිසා මානසික කඩා වැටීම් වලට මග සැකසේ. වර්තමානයේ දී බහුලව දක්නට ලැබෙන පාසල් මට්ටමේ මෙන්ම විශ්වවිද්‍යාල මට්ටමේ පවා ඇති දැඩි තරගකාරී විභාග රටාවද මානසික ආතතියට හේතු පාදක වේ. එම මූලික කරුණු හැරුනු කොට විවිධ රෝග, පවුලේ අභ්‍යන්තර ගැටලු, ආර්ථික ගැටලු, පමණ ඉක්මවූ වැඩරාජකාරි වැනි සාධක ද මානසික ආතති තත්ත්ව කරා පුද්ගලයන්ව පහසුවෙන් රැගෙන යයි.

එම හේතු සාධකයන් මගහරවාගෙන, මානසික ආතති හා පීඩාකාරී තත්ත්ව වලින් මිදීම අතිශයින් වැදගත් කරුණකි. මානසික සුවය, පූර්ණ සෞඛ්‍යයෙන් සිටීම සඳහා අත්‍යවශ්‍ය වන අංග 4 න් එකකි. රටක දියුණුව සඳහා ද තරුණ ප්‍රජාවගේ පූර්ණ යහපැවැත්ම අත්‍යවශ්‍ය අංශයක් ලෙස සැලකේ. එම නිසා තාරුණ්‍යය මුහුණ දෙන ගැටලු පිළිබඳව මනා වැටහීමකින් යුතුව ක්‍රියා කිරීම බොහෝ වැදගත් වේ. මානසික ආතති තත්ත්ව සම්පූර්ණයෙන්ම දුරලිය නොහැකි වුවද ඒවා හැකිතාක් දුරකට අවම කිරීමට අපට ගත හැකි පියවර කිහිපයක් පවතී. කාල කළමනාකරණය ඉන් ප්‍රධාන තැනක් ගනී. තරගකාරී විභාග වලට සාර්ථකව සූදානම් වීමට, පමණ ඉක්මවා සිදු කිරීමට නියම වන වැඩ කටයුතු සාර්ථකව නිම කිරීමට එය බොහෝ සෙයින් උදව් වේ. මීට අමතරව, සමීපතමයන්ගෙන් සිදුවන වෙන්වීම්, ආදර සම්බන්ධතා බිඳ වැටීම් වැනි කරුණුවලදී, මිතුරෙකු හෝ වෙනත් සමීපතමයෙකු සමඟ තම හැඟීම් බෙදාහදා ගැනීම එම මානසික පීඩාකාරී තත්ත්ව වලින් මිදී තරමක් දුරට මානසික සුවයක් ලබා ගැනීමට බොහෝ සෙයින් උපකාරී වේ. මේවාට අමතරව, සංගීතයට සවන්දීම, පොත්පත් කියවීම, භාවනා කිරීම, මිතුරන් සමඟ කාලය ගතකිරීම, සුරතල් සතුන් සමග කාලය ගත කිරීම, ඇවිදීමට යාම හෝ විනෝද චාරිකා වලට සහභාගි වීම, ක්‍රීඩාවක යෙදීම හෝ වෙනත් විනෝදාංශයක යෙදීම, ආගමික ස්ථානයකට ගොස් සිත නිදහස් කර ගැනීම වැනි ක්‍රියාකාරකම් වලින්ද මානසික සුවයක් ලබාගත හැකි ය.

සමාජයක තරුණ ප්‍රජාව යනු ආදරය, අගය කිරීම හා පිළිගැනීම නොමඳව බලාපොරොත්තු වන පිරිසකි. නිසි පරිදි තම දක්ෂතා අගය නොකිරීම, තමාව නිසි ලෙස පිළිගැනීමට ලක් නොකිරීම, තමාට නිසි තැනක් ලබා නොදීම වැනි කරුණු හමුවේ ඉක්මනින් සිත් බිදීම් හා මානසික අසමතුලිතතාවයන් ඔවුන් තුළ ඇති විය හැකි ය. එවැනි අවස්ථාවලදී මානසිකව නොවැටී, ඉන් මිදීමට කටයුතු සිදුකිරීම ඉතාමත් වැදගත් වේ. තමා අදහන ආගමේ ඉගැන්වීම්, වැඩිහිටි අවවාද ආදිය ද එවැනි අවස්ථාවලදී උපකාරයට ගත හැකි ය. බාහිර ජනසමාජයෙන් තමාට නොගැළපෙන දේ ඉවතලමින්, ගැළපෙන හා තමාට සුදුසු දේ පමණක් පෙරා වෙන් කරගෙන ජීවිතයට එක් කරගෙන සිහි නුවණින් ක්‍රියා කරන්නේ නම්, මානසික ආතති හා මානසික පීඩන වලින් මිදීම එතරම් අපහසු කාර්යයක් නොවනු ඇත.
"A calm and modest life brings more happiness than the pursuit of success combined with constant restlessness. "
- Albert Einstein-
පරිවර්තනය :- " සාර්ථකභාවයක් සමඟ අවිවේකී බව බැඳුණු ජීවිතයකට වඩා සන්සුන් හා නිහතමානී ජීවිතයක් සතුට ගෙනදෙයි. "
By Rtr. හිරුෂ මුණසිංහ
Image credits :
❤️✨✨