
නිදහස…හරි අමුතු දෙයක්…සිර කුටියකට සීමා වෙලා සිටියත් සුළඟ වගේ නිදහසේ ඉන්න මිනිස්සුන්ට පුළුවන්. ඔයත් කැමති ද සීමා මායිම් නැතිව හමා යන සැහැල්ලු සුළං පොදක් වගේ වෙන්න?
හැබැයි ඒ නිදහස තියෙන්නේ අපේ සිතිවිලි අතර සැඟවිලා. සිරකුටියේ රාමුවෙන් එහා වෙනස් විදිහට සිතන්න පුළුවන් නම්, ඒ නිදහස සොයාගන්න අමාරු නෑ. ඒත් මොකක්ද මේ රාමුවෙන් එහා කතාව…
“රාමුව” තමයි අපේ සුපුරුදු ලෝකයෙන් අපිට නුපුරුදු ලෝකය වෙන් කරන්නේ. මිනිසුන් හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ තම තමන් හැදී වැඩුණු සමාජ ආර්ථික පසුබිමෙන් වගේම, තමන්ටම ආවේණික පෞරුෂත්වයකින් වට වුණු පුංචි රාමුවක. නිතරම වෙනස් වෙන, ගැටලු, අභියෝගවලින් පිරුණු තරඟකාරී ලෝකයේ පරිස්සමට බේරිලා ඉන්න පුළුවන්, අපි අර කලින් කියපු සුපුරුදු රාමුව ඇතුළේ ජීවත් වුණොත් විතරයි. ඒ නිසා බොහෝ දෙනෙක් තමන් මෙතෙක් කල් ජීවත් වුණු රටාව වෙනස් කරලා, අලුත් ලෝකයකට පා තබන්න මැලි වෙනවා. ඇත්තටම, එය පහසු කාර්යයක් නෙවෙයි. නමුත් ජීවත් වෙන්නට විසිතුරු ලෝකයක් ගොඩ නැගෙන්නෙත්, අපිට ඒ ලෝකයේ ඉදිරියට ගමන් කරන්නට පහසු වී තිබෙන්නෙත්, කාලයක් තිස්සේ වෙනස් විදිහට හිතලා ගැටලුවලට අලුත් විසඳුම් ගෙන ආපු අපි වගේම මිනිසුන් නිසයි.
රාමුවෙන් එහා හිතන්නට නම් මුලින්ම රාමුව තුළ දේවල් ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට තමයි තවමත් අපි අත් විඳලා නැති කොයි තරම් දේවල් ලෝකයේ ඇති ද කියන කුතුහලය ඇතිවෙන්නේ. රාමුවක් නැතිව රාමුවෙන් එහා සිතන්න බෑනේ.
අපි පුංචි උදාහරණයක් ගමු.

මේ තියෙන්නෙ 9 dots test එක. ඉස්කෝලෙ යාළුවො එක්ක එකතුවෙලා, මේ තිත් 9 පෑන ඔසවන්නේ නැතිව සරල රේඛා 4කින් එකිනෙක යා කරන්න උත්සාහ කළා ඔයාලටත් මතක ඇති. ඒ නිසාම ඔයාලා දන්නවා ඇති, රේඛා 4කින් තිත් ඔක්කොම යා කරන්න නම් තිත්වලින් වට වුණු රාමුවෙන් එපිටට පෑන ගෙනියන්නම වෙනවා කියලත්. එහෙම රාමුවෙන් එළියට යන්න වුණේ රේඛා ගණන 4 කට සීමා කර තිබුණු නිසයි. හිතන්නකො, කිසිම නීතියක් නැතිව අසීමිත නිදහසක් දීලා තිබුණා නම්, මේ තරම් නිර්මාණාත්මක පිළිතුරක් ගොඩනඟන්නට ඉඩක් නෑ නේද?
ඉතින් සීමාවන් තර වෙන තරමට තමයි මිනිසුන් ඒ අතරින් රිංගලා නිදහස සොයා ගෙන යන්නට වඩාත් නිර්මාණාත්මක, අසමසම මාර්ගයක් සොයාගන්නෙ. ඒ විදිහට රාමුව ඇතුළෙ ඉඳගෙන වුණත් අපිට කරන්න ,විඳින්න, දකින්න පුළුවන් දේවල්වල වපසරිය පුළුල් වෙනවා. කොටින් ම කිව්වොත් රාමුවෙන් එහා දෙයක් ගැන හිතනවා වෙනුවට, අපේ රාමුව තව ටිකක් ලොකු කරගන්න පුළුවන් වෙනවා.
සංවිධානාත්මක ලෝකයකට භෞතික හා සමාජීය සීමා මායිම් අත්‍යවශ්‍ය බව පිළිගන්න ඕනෙ. නැතිනම් අපි නොසිතන බොහෝ ගැටලුවලට මිනිසුන්ට මුහුණ දෙන්න වෙනවා. නමුත් අප ඒ සීමාවන්වල නතර වෙලා සිතිවිලි අතිනුත් සිරවෙලා සිටිය යුතු නෑ. ජීවිතයේ සාර්ථකත්වය හා සතුට එක් එක් මිනිසුන් නිර්වචනය කරන්නේ එකිනෙකට වෙනස් විදිවලට. ඒ නිසා මේ මාර්ගයේම යා යුතුයි කියලා කිසිවෙකුටත් බල කරන්න බැහැ. ජීවත් වන කෙටිකාලය තුළ ලෝකයේ සිදුවිය හැකි හා සිදු විය නොහැකි යැයි සිතන සෑම දෙයක්ම විවෘත මනසකින් යුතුව වැළඳ ගන්න ඕනෙ. හැමදාමත් අලුත් වන වෙනස් වන ලෝකයේ නොවෙනස් රාමුවක සිර වෙලා ඉන්නට අපට බැහැ. පරිසරය සමීපව අසුරු කරලා දැනුම එකතු කර ගන්නා අතර ඉවසීමෙන් හා අවධානයෙන් ලෝකය දෙස බැලුවොත් මුළු විශ්වයටම යහපතක් ගෙන දෙන අලුත් අදහස් ගෙන එන්න අපටත් පුළුවන් වේවි.
ඉතින්, ලෝකයේ වෙනසක් ඇති කරන්න පුළුවන් ශක්තිය ඇති පිරිසක් විදිහට තරුණ අපිත් ඉමක් කොනක් නැතිවම ඉහළට, මහා විසාලෙට විහිදෙන සිතිවිලි ආකාසයේ එක රෑනට නිදහසේ ඉගිල යමු.

By Rtr. නිපුණි කඩුපිටිය
Image credits:
♥️❤️✨