පුරා කොනින් ලද පැදුරක් වියන්නේ ඉරා එපන් ගෙන සායම් පොවන්නේ සරා මල් ලෙසත් වටකර වියන්නේ රටා සියුම් පන්නන් පත් වියන්නේ
පැරණි රජ දවස පටන් ඇසෙන මේ කවිවල මිහිර ගෙන එන්නේ හෙළ සංස්කෘතික මෙන්ම කලාත්මක උරුමයන්හි අරුමය ලොවටම කියාපාන සිහල පැදුරු වියන්නන්ගේ කතා පුවතයි.
කඳුකර ප්‍රදේශවල වැවෙන ගැටපන්, පොතුකොළ, ගලහ, තුන්හිරිය, බොරුපන් වැනි ශාක ඇසුරෙන් බිහිවෙන ලාංකීය පැදුරු කලාව තුළ, කාන්තාවන්ගේ වැඩි දායකත්වයක් දක්නට ලැබෙයි. ආරම්භයේ දී ගම්බද ප්‍රදේශවල ගැහැනු දැරිවියන් අත්‍යන්තයෙන්ම දැනගත යුතු කලාවක් ලෙස මෙම පැදුරු විවීම නම් කර තිබීම මගින් එදවස පටන් මෙම කර්මාන්තයට ප්‍රධාන තැනක් හිමිව තිබූ බව පැහැදිලි වේ.නෙත්කලු මෝස්තර රටාවන් තුළින් අපූරුවට නිමවෙන පැදුරු දෙස් විදෙස් ආකර්ෂණය එදා සිටම හිමි කරගත්තකි. ඈත යුගයේ ශාක පත්‍ර යොදාගෙන සාදා ගන්නා ලද වර්ණක භාවිතයෙන් හැඩ කළ පැදුරු මෝස්තර, හෙළයන්ගේ නිර්මාණාත්මක විභවය අපූරුවට කියා පාන්නට සමත් විය .
පන් පැදුරු
වගුරු බිම් වලින් නෙලාගන්නා පන් පිරිසිදු කර වියළා ගනු ලබයි. දේශීය අමුද්‍රව්‍ය ඇසුරෙන් සාදාගන්නා වර්ණක භාවිතයෙන් ඒවා වර්ණගන්වා, තම්බා පසුව වියළා ,විවීම සඳහා භාවිතා කරනු ලබයි. “ගලහ පැදුරු” ලෙස හඳුන්වන වර්ගය ද අමුද්‍රව්‍ය ලෙස යොදා ගනු ලබන්නේ පන් ශාකයයි. මෙහි විශේෂත්වය නම් විදේශික සංචාරකයින් අතර, ගලහ පැදුරු බොහෝ සෙයින් ප්‍රචලිත වීමයි.
ප්‍රචලිත ප්‍රදේශ
- අම්පාර දිස්ත්‍රික්කය – උහන, කල්මුණේ, අක්කරෙයිපත්තු
- ගාල්ල දිස්ත්‍රික්කය- ඉඳුරුව, කයිකවල
- හම්බන්තොට දිස්ත්‍රික්කය- රන්න, ගැටමාන්න, වගේගොඩ
- කළුතර දිස්ත්‍රික්කය- මොල්ලිගොඩ, ඉත්තෑපාන, මාලමුල්ල, කලපුගම, මග්ගොන, ඉහළ වදුගොඩ,කලමුල්ල , පොතුපිටිය
- කුරුණෑගල දිස්ත්‍රික්කය- අලව්ව, වැව සිරිගම
- මාතර දිස්ත්‍රික්කය- කරපුටුගල, කැකණදුර ,මී ඇල්ල
- පුත්තලම දිස්ත්‍රික්ක- ආනමඩුව, කරවිට, ලුණුවිල, කිරිමැටියාන
දුම්බර පැදුරු
ලාංකීය පැදුරු කලාව තුළ කාගේත් මුවග රැඳී නාමයයි; “දුම්බර පැදුරු”. මෙය මහනුවරට කිලෝමීටර් 13ක් පමණ නැගෙනහිරින් පිහිටි පටදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හේනවල ග්‍රාමය මුල්කරගෙන නිමවෙන ශ්‍රී ලාංකේය අද්විතීය හස්ත කර්මාන්තයකි .දුම්බර පැදුරු ,දුම්බර නිම්නය ආශ්‍රිතව “කින්නරා” නම් හෙළ කුලයක් විසින් අරඹා පැවත එන්නකි. ඈත යුගයේ දී හණ වලටත් වඩා සිනිදු නියඳ කොළ ඇසුරෙන් දුම්බර පැදුරු විවීම සිදුවිය. කාලයාගේ ඇවෑමෙන් නියඳ ශාකයේ හිඟ බව නිසා අද වනවිට හණ වලින් පමණක් දුම්බර පැදුරු විවීම සිදුවේ.
මෙහිදී ගැහැනු පිරිමි දෙපාර්ශවයම සම්බන්ධ වේ. ප්‍රථමයෙන් හණ ශාකයේ කෙඳි වෙන්කර ගනු ලබයි. නියඳ පෝරුවේ තබන හණ පත්‍ර, පසුව මොවුන් මුවහත් වන තුරු ලී උපකරණයකින් පිරිමදිනු ලබයි. ඉවත් කරගනු ලබන කෙඳි, සෝදා අව්වේ වේලෙන්නට තබා, නියඳ කොස්ස නම් කිතුල් කෙඳි වලින් සාදන ලද්දක් මගින් පීරනු ලබයි. ඉන්පසු මිටි බඳියි .පසුව නටන උණුවතුරේ බහා තබන කෙඳි වලට වර්ණක එක් කරනු ලබයි. එහි මිනිත්තු 15ක් පමණ බහා තබා ඉන් ඉවතට ගෙන විවීම සඳහා යොදා ගනියි.
ප්‍රචලිත ප්‍රදේශ
- මඩකලපුව දිස්ත්‍රික්කය-කාත්තන්කුඩි, පල්මුණෙයි
- මහනුවර දිස්ත්‍රික්කය- තල්දෙණිය, උඩවල
- කෑගල්ල දිස්ත්‍රික්කය- බදුලුපිටිය, දෙවනගල
- කුරුණෑගල දිස්ත්‍රික්කය- කිතලගම, රඹාවැව, නිකවැරටිය
- නුවරඑළිය දිස්ත්‍රික්කය- මාදන්වල, කොත්මලේ, බෝවල
- පුත්තලම දිස්ත්‍රික්කය- ලුණුවිල
- රත්නපුර දිස්ත්‍රික්කය- බෙලිහුල්ඔය
රටාවන් සහ මෝස්තර
විශාල ප්‍රයත්නයකින් පසුව නිමවෙන පැදුරක, ආකර්ෂණය සහ මිල තීරණය වන්නේ එහි යොදාගෙන තිබෙන මෝස්තර රටාවන් අනුවයි. පන් පැදුරුවල දක්නට ලැබෙන විශේෂ රටාවන් අතර නෙලුම් මල් රටාව, නාමල් රටාව, හංසපූට්ටුව, වංකගිරිය ලණු ගැටය වැනි ඒවා දේශීයත්වය කැපී පෙනෙන රටාවන් කිහිපයකි. පන් පැදුරු කර්මාන්තයය ප්‍රචලිතව ඇති ප්‍රදේශවල භූ ගෝලීය විෂමතා අනුව ද යොදාගනු ලබන මෝස්තර රටාවන් විචලනය වේ. ගල් පියුම, කිරිබත් කැටය යනු එවැනි රටාවන් කිහිපයකි. දුම්බර පැදුරුවල බහුලවම දක්නට ලැබෙන්නේ මෙරටට ම ආවේණික මෝස්තර රටාවන්ය. පන් පැදුරු වල මෙන්ම ලණු ගැටය, වංකගිරිය වැනි රටාවන්ට අමතරව භයංකාර ,තාරක පියුම ,හංස රටාව , ඉද්ද මල් පියුම, අටපෙති මල මේවයේ දක්නට ලැබෙන සුවිශේෂි රටාවන් කිහිපයකි. පැදුරු කර්මාන්තය ඈත යුගයේ සිටම පැවත එන්නක් නිසාවෙන්, ඉහත සඳහන් කළ දේශීය මෝස්තර රටාවන් හා බැඳුණු අපූරු ජනප්‍රවාදයන් ද පවතී.
ගැටලු
වර්තමානයේ පවා පැදුරු විවීම සිදුවන්නේ, සාම්ප්‍රදායිකව මෙම කර්මාන්තය පවත්වාගෙන ආ පිරිස් අතර පමණකි. අද වන විට, මෙවැනි කලාවන්ට නිසි ඇගයීමක් හා අවධානයක් හිමි නොවන නිසාවෙන් ඔවුන් මේ වන විට නොයෙක් ආකාරයේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටියි .මෙවැනි ගැටලු උද්ගත වීමේ අවසාන ප්‍රතිඵලය මෙවැනි අපූරු හස්ත කර්මාන්තයක අභාවය බවට කර්මාන්තකරුවන් අනතුරු අඟවයි .
අමුද්‍රව්‍ය හිඟ බව
පන් පැදුරු විවීමේ දී පන් ශාකය ක්‍රමවත්ව වගා නොකිරීම නිසාවෙන්, ඒවා සොයා යෑමට වැයවන ප්‍රවාහන වියදම් සහ අමතරව එකතු වන සේවක වියදම් කර්මාන්තකරුවන්ට දරාගත හැකි මට්ටමක නොවෙයි. විශේෂයෙන්ම, මේවා වගා කෙරෙන වගුරු බිම් වල විවිධ වාරිමාර්ග ව්‍යාපෘති යටතේ වෙනත් ආහාර භෝග වගා කිරීිමට යොදා ගැනීම තුළ මෙම තත්ත්වය උද්ගතව ඇත. දුම්බර පැදුරු සම්බන්ධ ව පවතින්නේ ද මේ ආකාරයෙන්ම හණ ශාකයේ හිඟ බවයි . කර්මාන්තකරුවන් පවසන පරිදි, අද වන විට හණ ශාකය ලබා ගැනීම සඳහා නුවරඑළිය නගරයෙන් ඔබ්බට වන්නට පිහිටි ඉතා දුෂ්කර ප්‍රදේශවලට පවා යාමට ඔවුනට සිදුව ඇත.
ආනයනික ප්ලාස්ටික් පැදුරු
බොහෝ දෙනා හඳුනන ප්ලාස්ටික් පැදුරු මේ වන විට වෙළඳපොළේ බහුලව දක්නට ලැබේ. නාගරික ප්‍රදේශවල බහුලව මේ සඳහා වෙළඳපොළක් නිර්මාණය වීම නිසාවෙන් දේශීයව නිපදවන පැදුරු වලට හිමිව ඇත්තේ දෙවැනි තැනයි .
ශ්‍රමිකයන්ගේ හිඟ බව
පෙර සඳහන් කළ පරිදි, දේශීය පැදුරු කර්මාන්තය තවමත් පවතින්නේ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් අතර ය. මෙහිදී ඔවුන් වසර ගණනාවක පුහුණුවකින් පසුව තම දෙවැනි පරම්පරාවට එහි පැවරීම සිදු කරයි. නමුත් දේශීය ආයතන මගින් මේ සඳහා පුහුණුව ලබන්නන් සහ සාම්ප්‍රදායි කර්මාන්තකරුවන් අතර පවතින හැකියාවේ වෙනස්කම් නිසාවෙන් නිමැවුම්වල ප්‍රමිතිය පහත බැසීමක් සිදුව ඇත..එමෙන්ම මෙවැනි හස්ත කර්මාන්ත සඳහා වර්තමානයේ තරුණ ප්‍රජාව අතර එතරම් ලැදිකමක් නොමැති වීමද මේ සියල්ලට මූලිකව බලපා ඇත.
ස්ථිර වෙළෙඳපොළක් නොමැතිවීම
අනිකුත් දේශීය නිෂ්පාදන මෙන් නොව පැදුරු සඳහා ස්ථිර වෙළඳපොළක් තවමත් නිර්මාණය වී නොමැත. මෙය ඉහත සඳහන් කළ සාධකවල අතුරු ප්‍රතිඵලයක් ලෙස මතු වන්නකි.
ශ්‍රී ලංකා අත්කම් නිර්මාණ කමිටුව හා කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව මෙවැනි හස්ත කර්මාන්ත සඳහා ශ්‍රමිකයන් පුහුණු කිරීම සිදුකරනු ලබයි. එමෙන්ම මෑතකදී දකුණු පළාත් සභාව මගින් ද මෙම පැදුරු වියන්නන් වෙනුවෙන් විශේෂ මූල්‍යාධාර සැපයීමේ ක්‍රමයක් ස්ථාපිත කර ඇත. මෙවැනි සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගා සිටුවීමට ගනු ලබන සාධනීය පියවරවල්, සැබැවින්ම අගය කළ යුතුය. මන්ද යත්, මෙවැනි කලා උරුමයන් රැකගෙන පවත්වාගෙන යෑම වෙනුවෙන් ඔවුන් දරන වෑයම සමස්ත දේශයේම අනන්‍යතාවය සුරැකීම උදෙසා වන්නකි.
අවසන පැතුම; දුකසැප නොබලමින් සැමදෙන එක්වීලා පැදුරේ රටාවන් මතු කරවන ලීලා රකිමින් අපේකම මෙතුවක් කැප වීලා නාමය රැඳේවා තුඩතුඩ රැව් දීලා
By Rtr. චලනි විජමුණිගේ
References :
- https://www.sundaytimes.lk/180701/news/traditional-mat-weavers-in-the-lurch-300137.html
- https://lankainformation.lk/directory/culture-and-social/arts-and-crafts/14410-mat-weaving-in-sri-lanka
- https://www.fantasiatours.com/activities/view-detailed-activity/247
- https://asiainch.org/craft/mat-weaving-other-rush-ware-fibre-ware-leaf-crafts/
- https://www.exjourneys.com/pan-peduru-the-art-of-weaving-pan-reeds-into-a-magical-carpet.html
Image credits :
- https://bit.ly/3r81Lzn
- https://bit.ly/3cOVb8I
- https://bit.ly/3CMHDF3
- https://bit.ly/3r9ISMv
- https://bit.ly/2ZkWVDk
Leave a Reply