නෙත්කලු සිත්කලු පැහැයෙන් විසිතුරු – බතික් මෝස්තර මවනා රූ සිරු
කලක් නොසලකා හැර තිබුණ ද ශ්‍රී ලංකාවේ බතික් කලාව මේ වනවිට නැවතත් ජනප්‍රිය විලාසිතාවක් වෙමින්, හිස ඔසවමින් ඇති බවක් දක්නට ලැබෙනවා. අපේකම ඉස්මතු වන හෙළ කලාවක් ලෙසින් බතික් කලාව හැඳින්වුවත්, එහි ආරම්භය සිදු වූයේ ඉන්දුනීසියාවේ බවයි සැලකෙන්නේ. කපු,සේද, ලිනන් වැනි රෙදි බතික් රටා ඇඳීමට යොදා ගන්නා අතර ඉටි හෝ ඩයි වර්ග වලින් මේ ඇඳීම සිදු කරනු ලබයි.
මුල් යුගය
බතික් කලාවේ මූල බීජය කෙතරම් කලක් පසුපසට ගමන් කරනවාදැයි ස්ථිරවම කිව නොහැකි වුවත්, එය ජාවාහි රාජකීය පවුල් වලට හා ධනවත් පැලැන්තිය සඳහා පමණක් වෙන්වූ විලාසිතාවක් ලෙස ආරම්භ කල බවයි, විශ්වාස කෙරෙන්නේ. මේ වන විට, බතික් කලාව ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව,සිංගප්පුරුව වැනි රටවල ද ජනප්‍රිය විලාසිතා අංගයක් බවට පත් වී ඇත.
ක්‍රමවේදය
දියර ඉටි අඩංගු තඹ පයිප්පයක් භාවිත කරමින් බතික් රෙදිපිළි සාදනු ලබයි. ඉටි මගින් නිර්මාණය කරන විසිතුරු රටා වල ඉටි වියලෙන විට, එම රෙදි සයාම්වල ගිල්වන අතර ජලයට අපාරගම්‍ය ඉටි ගැලවී ගිය පසු, සායම් වල වර්ණ එලෙසම රඳා පවතී. මෙලෙස නිර්මාණය කරන බතික් මෝස්තර විවිධාකාරයෙන් දැකගැනීමට ලැබෙන අතර,
1. බතික් බ්ලොක් 2. බතික් ස්ක්‍රින් 3. බතික් ලුක්ස්
යන මෝස්තර ඒ අතර ප්‍රධානත්වයක් ගනු ලබයි. මෝස්තර වලින් නිරූපණය කෙරෙන විවිධ රට වලින් සංකේතවත් වන අර්ථයන්ද ඇති අතර, සමනලුන් හා peony නම් මල් වර්ගයෙන් ආදරයත්, කුරුල්ලන් මඟින් සතුටත්, නෙළුම් මල් මඟින් පරිපුර්ණත්වයත් සංකේතවත් කරනු ලබයි.
විකාශනය
ශ්‍රී ලංකාවේ බතික් කලාව, කර්මාන්තයක් ලෙස ආරම්භ වූ කාලය 1960-1970 වන අතර, මුල් අවධියේදී එය පර්යේෂණාත්මක මට්ටමේ පැවතිණි.
එලෙස පර්යේෂණ මට්ටමේ පැවති බතික් කලාවේ පෙරළියක් ඇති වූ වසරක් ලෙස 1970 වර්ෂය සටහන් ව ඇති අතර, එකල බතික් සැරසිලි හැඩ ගැන්වූ රෙදිපිළි අද වන තෙක් ම ආරක්ෂිතව නැවුම් නිර්මාණ ලෙසින්ම පැවතීම සුවිශේෂී කරුණකි.
එලෙස, එහි කල් පැවැත්මට ඒ සඳහා යොදාගත් ඩයි වර්ගවල ප්‍රමිතිය හා ගුණාත්මක බව ඉහළ වීම බලපාන්නට ඇති බව බතික් කලාවේ ප්රවීණයන්ගේ අදහසයි.
1970 න් පසු නවතම මුහුණුවරක් ගත් ශ්‍රී ලාංකික බතික් කලාව සංචාරක කර්මාන්තය නිසාම ලොව පුරා ප්‍රචලිතව පවතිනවා. මුල් අවධි වලදී බිත්ති සැරසිලි, ඇතිරිලි වලට පමණක් සිමා වී තිබුනත් අද වනවිට , බතික් සැරසිලි කල සාරි, සමහර කාර්යාල වල කාර්යාල සේවකයන්ගේ නිල ඇඳුමක් ද වී අවසන්.
වත්මන් තත්ත්වය
ජාතික ශිල්ප සභාව, ශ්‍රී ලංකා අත්කම් නිර්මාණ කමිටුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන කමිටුව මගින් කරන ලද දිරිගැන්වීම් නිසාවෙන්, මෙරට බතික් නිර්මාණ ශිල්පීන් විසින් පර්යේෂණාත්මකව, පවතින ශිල්ප ක්‍රම යොදා ගනිමින් විදේශීය කලාවට දේශීය හැඩයක් ලබා දෙන්නට සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස, අද වන විට සංචාරක කර්මාන්තය ආශ්‍රිතව පමණක් ප්‍රචලිතව පැවති මෙම බතික් කලාවට දේශීය වෙළඳපොළ තුළද වැඩි ඉඩක් හිමිකර ගැනීමට හැකියාාව ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තය කුඩා මෝස්තර කර්මාන්තයක් ලෙස පාරම්පරිකව පවත්වාගෙන යන අතර වර්තමානයේ එය තරුණ පරම්පරාව අතර ජනප්‍රිය විලාසිතාවක් බවට පත් වෙමින් ඇත.
බතික් කලාව වර්තමානයේ කෙතරම් ජනප්‍රිය වී ඇත්ද යත් රටේ ප්‍රසිද්ධ මෝස්තර නිරූපණ ශිල්පීන්ගේ නවතම විලාසිතා ගොන්නට මේ නිර්මාණ එක් වීමට සමත්ව ඇත. දේශීය බතික් නිමැවුම්වල ඉහළ ප්‍රමිතිය හේතුවෙන් දෙස් විදෙස් වෙළෙඳපොළේ ඉහළ මිලක් ඒවාට හිමිවේ. සංචාරක කර්මාන්තය, මූලික ආදායම් මාර්ගයක් වන අපේ පුංචි දිවයින තුළ, මෙවැනි ඒ හා බැඳුණු කර්මාන්තයක දියුණුව ගෙන එන්නේ ආර්ථික වශයෙන් ඉහළ ඵලදාවකි. ඒ හේතුවෙන්, නොකඩවා කෙරෙන දිරිගැන්වීම් හරහා මෙම කර්මාන්තකරුවන් රැකගනිමින්, මේ ලොවක් වශී කළ අද්විතීය කලාව ඉදිරි පරම්පරාවලට හිමිකර දීමට නිසි බලධරයන්ගේ නෙත් යොමු වේවායි අවසන පැතුම යි.
By Rtr. සුමුදු තෙන්නකෝන්
References :
- https://www.dailymirror.lk/life/Sri-Lankas-batik-industry-A-glimpse-from-the-past/243-195048
- https://www.travellingpath.com/blog/amazing-batik-industry-in-sri-lanka/
- http://exploresrilanka.lk/2020/10/beautiful-batik/
- https://www.srilankabusiness.com/blog/sri_lankas_batik_industry.html
Image credits :
Leave a Reply