
“නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලාමලෙයි වත්තේ, මන්දකට හසුවී මුදාගත් කළු කොටියා, අද උදෑසන උඩවලව ඇත් අතුරු සෙවණේ දී මියගිය බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් ප්‍රකාශ කළා.” එකදිගට සිද්ධවුණ ඝාතන රැල්ලක, අපේ පරම්පරාවෙ තවත් කෙනෙක්ට වුණ ගොඩක් ශෝකජනක ඉරණමක් තමයි මේ. මේ ප්‍රවෘත්තිය ඇසෙන්නේ 2020 මාර්තු මාසයේ දවසක. ඔයාලට දැන් අමතක වෙලත් ඇති .

මුලින්ම මම ඔයාලට කියන්නම්කෝ මම කවුද කියලා. මම තමයි, Panthera Pardus කොටියා. ඒ මගේ විද්‍යාත්මක නම .ලංකාවේ බිළාල විශේෂ 4ක් ඉන්නවා කියල ඔයාල දන්නව නේද ?මේ විශේෂ හතර අතරෙන් විශාලතම විශේෂය තමයි, අපේ පරම්පරාව. අපේ ශරීර ප්‍රමාණය ගැන කියනවා නම්, අපේ පිරිමි සතුන්ගේ ස්කන්ධය සාමාන්‍යයෙන් 60kg වගේ වුණත්, ගැහැණු සතුන්ට 35kg ක වගේ ස්කන්ධයක් තමයි තියෙන්නේ. ගැහැණු සතුන් සාපේක්ෂව පොඩියි .අපි මාංශ භක්ෂක කියලා ඔයාල හොඳටම දන්නවනේ. ඉතින් අපි ආහාර සපයාගන්නේ මුවෝ,ගෝන්නු,මීමින්නො, කුළුහරක් වගේ සතුන්ව දඩයම් කරලා තමයි.ඒක අපි ආහාර ගන්න රටාව වගේම, අපෙන් පරිසරයට වෙන සේවයක් විදියටත් කියන්න පුළුවන්.ඒ වනාන්තර වල සත්ත්ව ගහනය පාලනය වෙන එක ගොඩක් වැදගත් දෙයක් නිසා. හැබැයි, ඒක පාලනය කරන්න අයිතිය තියෙන්නේ කැලේ ඉන්න අපිටම විතරයි කියලා මතක තියාගන්න.
අපි වැඩිපුරම ජීවත් වෙන්නේ වියලි කලාපයේ. ඒ අතරිනුත්, විල්පත්තුව කියන්නේ අපේ මූලස්ථානය කියලා කියන්න පුළුවන් .(මොකද අපේ පරම්පරාවේ අයගෙන් 70%ක් විතර ඉන්නේ විල්පත්තුවේ තමයි. ) ඊට අමතරව, අපි තෙත් කලාපයේත්, කඳුකරයේත් ජීවත් වෙනවා.කලාප අනුව බලද්දි, එක එක කලාපවල ඉන්න අපේ අයගේ සමේ වර්ණය වෙනස්.
- වියලි කලාපය- කහ පැහැය
- තෙත් කලාපය- රන්වන් පැහැය
- කඳුකරය -අඳුරු කහ
මීට අමතරව “කළු කොටියා” කියලා කියන්නෙත් අපේ පරම්පරාවේ ම කෙනෙක් තමයි. කාලයක් මෙයාල ලංකාවෙන් වඳ වෙලා ගිහිල්ලා කියල තමයි හැමෝම හිතාගෙන හිටියේ . (මන්දකට අහුවෙලා කෙනෙක් මැරුණම තමයි අපි තාමත් මෙයාලා ජීවත් වෙනවා කියලා හැමෝම දැනගත්තේ.)මෙයාලත් පෙනුම ටිකක් වෙනස් වුණාට, අපේම අය තමයි .එයාලා කළුපාට වෙලා තියෙන්නේ, එයාලගේ හමේ මෙලනින් කියන වර්ණකය අධික මාත්‍රාවකින් තැන්පත් වෙලා තියෙන නිසා කියලා තමයි සත්ත්ව විද්‍යාඥයෝ කියන්නේ.
දැන් තමයි, අපේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න පටන් ගන්නේ. අපිට සතුරෝ කීපදෙනෙක් ඉන්නවා .කිඹුලා, වලහා ගැන නෙමෙයි මේ කියන්න හදන්නේ .කිඹුල් රාළලා වලස් රාළලා එක්ක ඔය පොඩි පොඩි රණ්ඩු උනාට අපේ සනුහරය නැති කරලා දාන්න එයාලා වැඩ කරන්නේ නෑ .අපිට ඉන්න ලොකුම හතුරො තමයි මිනිස්සු . අපේ වාසස්ථාන නැති කරනවා ,මිත්‍යා විශ්වාස මත ජීවත්වෙන සමහර මිනිස්සු අපේ දත් බෙල්ලෙ දාගෙන ඉන්නවා , හම අරන් විලාසිතා කරනවා.ඔය ඔක්කොම කරන්නේ වාසනාව බලාගෙනලු.ඔය වගේ දේවල් තමයි සෘජුවම අපේ වර්ගයාගේ විනාශය වෙනුවෙන් සිද්ධ කරන වැඩ.

කොටි දත් 
වලපනේ ප්‍රදේශයේදී හොරෙන් විකිණීමට තිබූ කොටි සමක්
ඊළඟට මම ගොඩක් අයගේ අවධානය යොමු නොවෙන පැත්තක් ගැන කතා කරන්නම්කො .මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ ලෝකෙ තියෙන හැමදේම එයාලට පාලනය කරන්න පුළුවන් කියලානේ.එයාලා මුලින්ම දෙමුහුන් ශාක සත්තු සොබාදහමට එක් කරන්න පටන් ගත්තා .අපිව ආරක්ෂා කරන්න කියලා විශාල වනෝද්‍යාන කෘතිමව හදලා අපේ පැවැත්ම එයාලා අතට ගන්න හැදුවා .බොහොමයක් දෙනා කරන්නේ, සංවිධාන හදාගෙන, සත්තු සුරකින්න තමන් මැදිහත් වෙනවා කියලා මවා පෙන්නන එක විතරයි .
හැබැයි දැන් ඒ හැමදේටම වන්දි ගෙවන්න කාලයක් මනු සත්ත්වයාට උදා වෙලා කියලා තමයි කැලේ ඉන්න අපිටත් පේන්න තියෙන්නේ .මිනිසා විසින් සොබාදහමට කරන අපරාධය, මිනිසාටම තේරුම් ගන්න ,අපේ මේ අවනඩුව අහන්න කොරෝනා ඇවිත් තියෙන්නෙ.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, සොබාදහම රැක ගන්න මහා විශාල දේවල් කරන්න ඕනේ නැහැ . මිනිස්සුන්ට තේරුම් කරල දෙන්න; එයාලත් සොබාදහමෙ කොටසක් මිසක් ,සොබාදහම කියන්නෙ එයාලට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. ඒක තමයි අපි වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම දෙය . ඔයාලා හැමදෙනාටම සොබාදම් මෑණියන්ගේ පිහිටයි!!! By Rtr. ඩිල්ෂාන් සුපුන්
References :
- https://yzasrilanka.lk/
- https://news.mongabay.com/2020/06/for-sri-lankas-dwindling-leopards-wire-snares-are-the-leading-killer/
- https://www.facebook.com/groups/WildSriLankaPhoto
Image credits : https://bit.ly/31dtGCZ









” මිනිස්සුන්ට තේරුම් කරල දෙන්න; එයාලත් සොබාදහමෙ කොටසක් මිසක් ,සොබාදහම කියන්නෙ එයාලට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි” 🥺🤍🤍👏👏
Nicely written !!!
Well written! ♥️
Nicee….