
“ප්‍රජා ආර්ථික සංවර්ධනය” (Community Economic Development ; CED) යනු ප්‍රජාවන් විසින් ආර්ථික, සමාජීය වශයෙන් තමන්ගේම ගැටලු හඳුනාගෙන ඒවා විසඳීම ආරම්භ කරන, ප්‍රජා ක්‍රියාවලියකි.
සරලවම තමා වෙසෙන ගම්මානයේ, ග්‍රාමීය ආර්ථිකයට බලපෑම් කිරීමට සහ තම ගම්මානයේ වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ගම් වැසියන්ම එක්ව ගොඩනගන ක්‍රියාවලියයි. මේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් රැකියා උත්පාදනය,ප්‍රාදේශීය ආර්ථිකය ස්ථාවර කිරීම, දේශීය ආර්ථික සම්බන්ධතා වර්ධනය කිරීම, ප්‍රජාවේ භෞතික පරිසරය වැඩි දියුණු කිරීම යන අරමුණු හතර යටතේ ක්‍රියාත්මක වේ.
CED ක්‍රියාවලිය..
CED ක්‍රියාවලිය ආරම්භ කිරීම සදහා ප්‍රථමයෙන් භූගෝලීය ප්‍රදේශයක් භෞතිකව වෙන් කර, එම ප්‍රදේශයේ මානව හා භෞතික විභව්‍යතා හඳුනාගනියි. මෙසේ හඳුනාගත් මානව සම්පත් ඒකරාශී කර සාදාගන්න CED කමිටුව මඟින් නව්‍ය ආර්ථික සැලැස්මක් සැලසුම් කිරීම සිදු කරයි. මෙම සැලැස්ම තුලින් ග්‍රාමය තුළ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ඇතිකිරීම සඳහා ග්රාමීයව බහුල සම්පත් උපයෝගී කරගෙන කර්මාන්ත හෝ නිෂ්පාදන කාර්යක් හෝ කිහිපයක් බිහිකරයි. තවද සුළු පරිමාණ හා ගෘහස්ත කර්මාන්ත සඳහා ප්‍රාග්ධන සැපයීම, උපදේශනය සහ තාක්ෂණික සහාය සැපයීම, නිෂ්පාදන විකුණුම් වෙළදපොළ හදුන්වාදීම ද සිදුකරයි. ඒවායේ රැකියා නියුක්තිය සදහා එම ග්රාමයේම පදිංචිකරුවන්ව යොමුකෙරෙන අතර එමඟින් පවුල් සංස්ථා ඒකකය ආර්ථික වශයෙන් නැංවීමට කටයුතු කරයි. තවදුරටත් ග්‍රාමයේ යටිතල පහසුකම් වර්ධනය උදෙසා පදිංචිකරුවන්ගේම ශ්‍රමය භාවිතයෙන් හෝ රජයේ හෝ සංවිධාන වල ආධාර ඇතුව සිදුකරයි. මෙහිදී ඇතිකරගනු ලබන බහුවිධ සැලැස්ම හරහා සන්නිවේදන, ප්‍රවාහන, අධ්‍යාපන, සැපයුම්, බලශක්ති අවශ්‍යතා සදහා ගමම එක් ඒකකයක් වන ලෙස විසඳුම් නිර්මාණය කරයි. මෙම සැලසුම් දීර්ඝ කාලීන සැලසුම් ගණයෙහි ලා සැලකෙන අතර ඉදිරි වසර විස්සක පමණ කාලයක් දක්වා ක්‍රියාත්මක වන ලෙස සකස් වෙයි.
CED හි ප්‍රජා සහභාගීත්වය ….
ප්‍රජාවන් විසින් ඔවුන්ගේ අනාගතය පාලනය කිරීමට නම් ගම්මානයේ සැලසුම් කිරීම සඳහා බොහෝ දෙනෙක් සම්බන්ධ විය යුතු බවයි. එනම් ගම්මානයේ සෑම ජන කොටසක්ම නියෝජනය විය යුතු බවයි. අදාළ ග්‍රාම සීමාවේ රාජ්‍ය සේවක , ව්‍යාපාර, පළාත් පාලන, සමාජ සේවා , අධ්‍යාපනය, සෞඛ්‍ය, දේශපාලන යනාදියට සම්බන්ධ සංගම්, ආයතන හා තනි පුද්ගලයන් CED කමිටු හා සම්බන්ධ වීම තුළින් සෑම සමාජ ස්ථරයක්ම සෑම අංශයක්ම ආවරණය වන ලෙස සැලසුම සකස් කිරීම සිදු කලහැක. CED ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන ග්‍රාමයට අදාළව ආර්ථික සංවර්ධන නිලධාරියෙකු පත් කරන අතර එහි කාර්යභාරය වන්නේ ප්‍රජාව සම්බන්ධීකරණය හා පහසුකම් සැපයීමයි.
CED හි සාර්ථකත්වය..
CED ව්‍යාපෘතියක සාර්ථකත්වය ප්‍රධාන වශයෙන් ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමට ප්‍රජාව දක්වන කැමැත්තමත පදනම් වේ. අමතරව, නායකයින්ගේ දැනුම හා කුසලතා (උදා: ආර්ථික සංවර්ධන කාර්ය මණ්ඩලය හෝ වගකීමට නායකත්වය දෙන ස්වේච්ඡා ප්‍රජාව, දේශපාලන නායකත්වය,ප්‍රජා හැඟීම සහ කණ්ඩායම් වගකීම , ව්‍යවසායකත්ව නැඹුරුව යන කරුණු මත ද මෙහි සාර්ථකත්වය පදනම් වේ.
CED සඳහා ප්‍රජා සූදානම…
සංවර්ධනය වෙමින් පවතින හා නිෂ්පාදන මුලද්‍රව්‍ය ප්රාදේශීයව විසිර පවතින රටවල් වලට වඩාත් උචිත ආර්ථික ක්‍රමයක් ලෙස එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ සංවර්ධන ආයතනය( ECOSOC) විසින් හඳුන්වාදුන් මෙම සංකල්පය ශ්‍රී ලංකාවට ද වඩා උචිත වනු ඇත. අතීතයේ පැවතී කර්මාන්ත මුල් කරගත් ගම්මාන සංකල්පයේම වැඩි දියුණුවක් ලෙස ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ දියුණුව සඳහා CED සංකල්පය යොදාගැනීම ඉහළ විභාව්යතාවක් පවතියි.
By Rtr. දැහැමි ගුණතිලක
Image credits : https://bit.ly/3lPbAPF https://bit.ly/3jdRflg https://bit.ly/2YXMVzi References : https://www.gov.mb.ca/agriculture/rural-communities/community-planning/pubs/localofficer.pdf https://communityactionpartnership.com/community-economic-development-ced/
Well written Dahami! ❤️