
දරුවෙකු මව්කුස පිළිසිඳ, කළල රූපය නිර්මාණය වී, පංචේන්ද්‍රිය විකසනය වූ අවස්ථාවේ සිට එම දරුවා අධ්‍යාපනය හෙවත් ඉගෙනුම ආරම්භ කරන බව වර්තමාන විද්‍යාඥයන්ගේ සොයාගැනීමයි. මව් කුස තුළ සිටින දරුවාට ආදරය කරුණාව දැක්වීම, රසවත් ගීත ඛණ්ඩ ශ්‍රවණයට අවස්ථාව සැලසීම, දරුවා සමග කතා කිරීම වර්තමානය වන විට සායනයන් පවත්වා මව පියා දෙදෙනා දැනුවත් කිරීම මගින් සමාජගත කර ඇත.
එය පසක් කරමින්, පෙර දරුවාට වඩා වර්තමාන දරුවා උපතේදීම යම් සමාජානුයෝගී භාවයක් පෙන්නුම් කරයි. අතීත දරුවන් තෙමසක් වැනි කාලයක් ගත වූ පසු සිනහසෙන බව අප වැඩිහිටියන් පැවසුවද වර්තමානයේ කුඩා ළදරුවෙකු මාසය, එකහමාර වන විට තම සමීපතමයන් සමග සිනාසීම, කටහඬ හඳුනාගැනීම වැනි ප්‍රතිචාර දක්වන බව ප්රත්යක්ෂ සත්‍යයකි.
දරුවා තුළ ඇතිවන මේ ශබ්ද විභේදනය හෙවත් ශබ්ද වෙන්කර හඳුනාගැනීම සහ සාමාන්‍යකරණය හෙවත් පොදු ලක්ෂණ හඳුනා ගැනීම සඳහා ඇති හැකියාව එම දරුවා හැදෙන වැඩෙන පවුල් පරිසරය අනුව වෙනස් වේ. උගත් දැනුවත් දෙමව්පිය දෙපළකට උපදින දරුවා උප්පත්තියෙන්ම ලබන වාසනා මහිමය, දරුවා තුළ හේතුඵල දහම අනුව සිදුවේ. දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලක දරුවා තුළ, එම පවුල් පරිසරය තුළ පවතින අඩුලූහුඬුකම් එම දරුවාගේ කායික හා මානසික සංවර්ධනයටද බලපාන හෙයින් මූලික අධ්‍යාපනය ද පෙර සදහන් කළ පූර්ව ළමා සංවර්ධනය ද බොහෝ විට එම දරුවා තුළින් ගිලිහීමත් වර්තමාන සමාජය තුළ අත්දැකීමට හැකි වන අවස්ථා එමට ය.

සාමාන්‍ය වටපිටාවක් තුළ හැදෙන වැඩෙන දරුවා මූලික අධ්‍යාපනයේ පළමු පියවර වන සවන්දීම සාර්ථකව අත්විඳින දරුවෙකි. භාෂා ක්‍රියාකාරකම් සියල්ලෙහි පදනම සවන්දීමයි. යහපත් සවන් දීමක් ඇති දරුවා මනෝමය වශයෙන් සංවර්ධනය වූ දරුවෙකි. ඒ තුළින් ඔහු අනෙකුත් සියලූ දේ ග්‍රහණය කර ගනී. සවන්දුන් දරුවා කියවීමට, කථනයට, ලිවීමට යන චතුර්විධ භාෂා ක්‍රියාකාරකම් වලට ආයාසයකින් තොරව නැඹුරු වෙයි.
මූලික අධ්‍යාපනය ලෙස මව්කුස සිට තම නිවෙස් පරිසරයෙන්, සමාජයෙන්, පෙර පාසලෙන්, ප්‍රාථමික පාසලෙන් තම චතුර්විධ භාෂා කුසලතා ක්‍රමානුකූලව සංවර්ධනය කර ගත්තේ නම්, එම දරුවා තුළ සාක්ෂරතාව මනාව පිහිටයි. එහිදී සාක්ෂරතාව යන්නට අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාව, ගණිත සංකල්ප සාධනය කර ගැනීමේ හැකියාව, පරිසරය හා වෙනත් භාෂා පිළිබඳ දක්ෂතාවය, ද්විතීයික අධ්‍යාපනයේ දී හදාරනු ලබන අනෙකුත් සියලූ විෂයන්ද ඇතුළත් වේ.
චතුර්විධ භාෂා කුසලතා තිඹිරිගෙය තුළ සිට නොව මව් කුසයෙන් ද ඔබ්බට ගිය කර්මානු කර්ම ධර්මතාවය අනුවද සැකසීම සිදුවන බව ප්රත්යක්ෂ ය. දරුවෙකුට මනා අධ්‍යාපනයක් ලැබීමට නම් අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේ දේශිත මංගල කරුණු අනුව “පතිරූප දේස වාසෝච” යන සුදුසු ප්‍රදේශයක වාසය කිරීම බෙහෙවින් වැදගත් වන බව හුදෙක්ම විශ්වාස කළ හැක.
දරුවෙකු තමා දකින පරිසරය අනුව තමා දකින පරිසරය අනුව, තමාගේ ආශ්‍රිතයන් අනුව, තමා අධ්‍යාපනය ලබන පාසල අනුව, ආශ්‍රය කරන යහළු මිතුරන් අනුව තමාගේ පැතුම්තල සකස් කර ගනියි. සුපෝෂිත පරිසරයක් හිමි දරුවා සමාජයට වැඩදායි පුරවැසියෙකු වීම නිතැතින්ම සිදු වන්නකි. මේ සියල්ලටම මූලික අධ්‍යාපනය අඩිතාලමක් වන අතර මූලික අධ්‍යාපනය සාර්ථකව ලබාගත්, ලබාදුන් දරුවා සාක්ෂරතාවය නැමැති වර්තමානය වන විට ගොඩනැගී ඇති විශ්ව ගම්මානය ජයගෙන යා යුතු හිනිපෙත්තටම ගොස් ලොව ජයගැනීම අවිවාදයෙන් යුතුව පිළිගත හැකි කරුණකි.

By Rtr. සුදසි සිරිවර්ධන
Image credits : https://bit.ly/3upyu2G https://bit.ly/3ol4LqJ https://bit.ly/3D2Tb7Y
Leave a Reply