
ලෝකයේ ජීවත්වන විවිධ සත්ත්වයෝ විවිධ ආකාරයෙන් තම අයිතීන් හා පහසුකම් භුක්ති විඳිති.ස්වභාවයෙන්ම සමාජ ජීවියෙකු වන මිනිසා විසින් භුක්ති විඳින එවැනි අයිතීන් හා පහසුකම් බොහෝ වේ.ඒ අතරින් සාමය විශේෂ තැනක් ගන්නා අතර, එය මිනිසාගේ කායික හා මානසික යහපැවැත්මට ද බොහෝ සෙයින් වැදගත් වන සාධකයකි.
සමාජයක් තුළ සාමය බිඳවැටීමට නොදී රැක ගැනීම සැබවින්ම පහසු කාර්යයක් නොවේ. සාමය බිඳ වැටී ගැටුම් ඇතිවීමට විවිධාකාරයේ හේතු බලපා යි.අප රටේ පමණක් නොව ලෝක ඉතිහාසය දෙස හැරී බලන කල ඒ බව මනාව පසක් කරගත හැකි ය.බල තණ්හාව,අන්මත නොඉවසීම,එකිනෙකාට ගරු කරමින් ජීවත් නොවීම,ධනයට ඇති කෑදර බව ආදී හේතු මෙන්ම ඇතැම් විට පුද්ගලයින් සතු මානසික ආතතිය, වැරදි වැටහීම් ඇතිකර ගැනීම සහ වෙනත් මානසික පීඩාකාරී තත්ත්ව වැනි හේතු ද ගැටුම් ඇති වීමට බොහෝ සෙයින් හේතු පාදක වී ඇත.
චූලෝදර මහෝදර අරගලයේ පටන් තිස් වසරක කුරිරු යුද්ධය දක්වා අප රටේ බල තණ්හාව නිසා ඇතිවුණු ගැටුම් විකාශනය දෙස බලන කල ඒ නිසා ඇති වූ අහිතකර ප්‍රතිඵල ද අපට පසක් කර දෙන්නේ ගැටුමෙන් පසු යම් ජයග්‍රාහකයෙකු වේ නම්, ඒ අසමගිය පමණක්ම බව ය.බුද්ධ වචනයේ ද දැක්වෙන්නේ වෛරයෙන් වෛරය කිසිදා නොසංසිඳෙන බවත් වෛරය සංසිඳෙන්නේ මෛත්‍රියෙන් ම පමණක් බවත් ය.මීට අමතරව ජාති,ආගම්,කුලමල භේද ඇතිකරගනිමින් අප රටේ ඇති වූ ගැටුම් පසුගිය වසර කිහිපය තුළදී ද බොහෝවිට දක්නට ලැබුණි.වාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ දක්නට නොලැබුණ ද ලෝකයේ ඇතැම් රටවල සමේ වර්ණය පාදක කරගනිමින් පහත් කොට සැලකීම ද සාමය බිඳ වැටී ගැටුම් ඇතිවීමට හේතු වන කරුණකි.
ශ්‍රී ලංකාව වැනි විවිධ ජාතීන් වලට අයත්,විවිධ ආගම් අදහන ජන සමාජයක් වෙසෙන රටක සාමය පවත්වා ගැනීම ඉතාමත් වැදගත් කරුණකි. අධ්‍යාපනය,රැකියා,ක්‍රීඩා ආදී බොහෝ ක්ෂේත්රවල දී අපට විවිධ ජනවර්ගවල මිනිසුන් සමග කටයුතු කිරීමට සිදු වේ.විශ්වවිද්‍යල සිසුන් වශයෙන් අපට ද රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන,විවිධ සංස්කෘතීන් නියෝජනය කරන සිසුන් සමග කටයුතු කිරීමට සිදු වේ. එය මා දකින්නේ මා ලද භාග්‍යයක් ලෙසයි.
සැබවින්ම අප රටේ මිනිසුන් බොහෝ සුන්දරයි. ඒ මන්දයත් සැම විටම සිනහවෙන් සංග්‍රහ කරන ඔවුහු, ආගන්තුක සත්කාරයේ ද බොහෝ සෙයින් ලැදි වෙති.අතීතයේ සිටම එය විදේශිකයින්ගේ පවා පැසසුමට ලක්වූ කරුණකි. ඔවුහු සාමයෙන් සමගියෙන් ජීවත් වීම මහත් සේ ප්‍රිය කරති.ඒ තුළින් කායික,මානසික පීඪා අවම කර ගනිමින් ජීවත් වන විනයගරුක පුරවැසියන් බිහි කරගැනීමේ විභවය නිර්මාණය වේ.
ලාංකේය ඉතිහාසය දෙස බලන කල සාමය බිඳ වැටී ගැටුම් ඇතිවීමට හේතූන් ද, ඒවා වළක්වා ගැනීමට ගත යුතුව තිබූ ක්‍රියාමාර්ග නොගැනීම නිසා ඇති වූ අහිතකර ප්‍රතිඵල ද, එම නිසා ඇති වූ බලපෑම් වර්තමානයේදී ද භුක්ති විඳීමට සිදුව ඇති හෙයින් රටේ සාමය පවත්වා ගැනීම කෙතරම් වැදගත් දැයි අප කාහටත් මනාව වැටහිය යුතු කරුණකි. එම නිසා සියලු භේද පසෙකලා සියල්ලන් එකම මවකගේ දරුවන් මෙන්, එකිනෙකා කෙරෙහි ගෞරවයෙන් යුතුව ජීවත් වීමට අපි සැවොම කටයුතු කරමු.

අප විවිධ ප්‍රදේශවලින් පැමිණේවි අප විවිධ භාෂාවන් කතා කරාවි අප විවිධ ආගම් අදහාවි නමුදු කවදත් අපගේ හදවත් එකා මෙන් ගැහේවි...
By Rtr. හිරුෂ මුණසිංහ Image credit : https://bit.ly/3nRMQYj https://bit.ly/3AtLPcq
❤️❤️