1859 යේ දවසක හෙන්රි, තුන්වන නැපෝලියන් අධිරාජ්‍යයා මුණගැසීමට යාමට සිතුවේ, ව්‍යාපාර කටයුත්තක් කතිකා කරගැනීමටයි. නමුත් ඔවුන්ගේ හමුව සිදු වූයේ සාමාන්‍ය කාර්යාල කාමරයක නම් නො වේ. කතාබහකට අඩුවෙන් ම ඉඩ ඇති, ඒ ස්ථානය වූයේ 19 වන සියවසේ දරුණුතම සටන් වලින් එකක් වූ සොල්ෆරීනෝ සටන මෙහෙය වුණු යුධ පිටියයි. එහි දී අත් විඳි දෙයින් සසල වූ සිත් ඇති ව 1862 දී, යුද්ධය, සටනින් පසු යුධ පිටිය හා සැලසුම යන තේමා තුනෙන් යුත් “A Memory of Solferino” නම් කෘතිය රචනා කරන විට, ඔහුගේ අදහස් කෙතරම් ප්‍රබල දැයි හෙන්රි නොදැන සිටින්නට ඇති. යුධ අවස්ථාවක දී තුවාල ලැබූවන්ට සාත්තු කිරීමට, ඒ සඳහා අනුග්‍රහ දැක්වීමට හා ස්වේච්ඡා සාමාජිකයින් බඳවා ගෙන පුහුණු කිරීමට, 1863 දී ස්විට්සලන්තයේ ජිනීවා නුවර දී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය නිර්මාණය කිරීම එහි අගනා ම ප්‍රතිඵලය යි.
1828 මැයි මස 8 වන දා ධනවත්, වංශවත් පවුලක උපත ලබා තම සීයාගේත්, පියාගේත් සමාජ සේවා කටයුතු ඇසුරේ හැදී වැඩුණු ෂෝන් හෙන්රි ඩුනට් අතිශය කැමැත්තෙන් සිය ධනය, කාලය සංවිධානයේ ව්‍යාප්තිය වෙනුවෙන් යෙදවූවා. මෙතුමාගේ සහකම්පන මතවාදය, ඔහු ඉතා ලැදියාවෙන් අනුගමනය කළ කතෝලික ආගමෙන් තවත් සරු වූ බව කිව යුතුයි. ස්වෛරීබව, මානුෂීයත්වය, අපක්ෂපාතිත්වය, මධ්‍යස්ථබව, සර්ව සාධාරණබව, සමඟිය හා ස්වේච්ඡා සේවකත්වය යන රතු කුරුස සංවිධානයේ මූලධර්ම හත සැලකූ විට ඒ බව පසක් වන්නක්.
1864 අගෝස්තු 12 වනදා, රටවල් 12 ක එකඟත්වයෙන් අත්සන් තැබුණු අන්තර්ජාතික ජිනීවා සම්මුතිය මඟින් රතු කුරුස නියෝජිතයින්ට මධ්‍යස්ථව සැලකීම හා පහසුකම් ලබාදීමත්, අද වන විට ලොව ප්‍රචලිත, සංවිධානයේ ලාංඡනය වන සුදු පසුබිමක වූ රතු කුරුසයට ඕනෑ ම මොහොතක ඉඩ ලබාදීමත් තහවුරු කෙරුණා. හෙන්රි ඩුනට් ඉන් නො නැවතී, යුධ රහිත කාලවල දී ස්වභාවික ව්‍යසනවලින් පීඩාවට පත් වන්නන්ට සහන සැලසීමට සංවිධානය පුළුල් කළා. සිය වත්කම් සියල්ල ම සමාජ සුබ සාධනයට යෙදවීම නිසා හා උතුරු අප්‍රිකාවේ පවත්වා ගෙන ගිය සිය ව්‍යාපාර කටයුතුවල අවිධිමත් කළමණාකරණය නිසා බංකොලොත් බවට පත් වූ හෙන්රි, 1867 දී සංවිධානයේ ලේකම් තනතුරෙන් පමණක් නොව සමාජිකත්වයෙන් ද ඉවත් වූවා.
මේ අවාසනාවන්ත කාලයේ දී අන්ත දිළිඳු බව නිසා ම කන්නට පාන් කැබැල්ලක්වත් නැති ව ප්‍රංශයේ පැරිස් නුවර වීදි බංකුවල නිදාගත් අවස්ථා ද වූ බව වරෙක මෙතුමා ප්‍රකාශ කර තිබුණා. එකල ප්‍රංශ අධිරාජිනිය, ඩුනට් මහතාව කැඳවා ජිනීවා සම්මුතිය නාවික සුබසාධනය සඳහා තවදුරටත් පුළුල් කිරීමට උපදෙස් පැතූ අතර, සතුටුදායක ලෙස ඔහුව නැවතත් ඔස්ට්‍රියාව, ස්වීඩනය, ප්‍රශියාව ස්පාඤ්ඤය යන රටවල රතු කුරුස සංවිධානවල සමාජියෙක් බවට පත් කරනු ලැබුවා. ඒ අනුව 1870 දී මෙතුමා ප්‍රංශ-ජර්මන් යුද්ධ සමයේ තුවාල ලැබූ සෙබළුන් වෙනුවෙන් සිය සේවය ද ලබා දුන්නා. නමුත් පසු කාලීන ව, 1887 දී දිළින්ඳෙක් ලෙස ම හේඩන් නම් වූ කුඩා ස්විස් ගම්මානයකට පැමිණි ඩුනට්, රෝගාතුර වීම නිසා ප්‍රාදේශීය රෝහල් කාමරයකට ඇතුළත් කරනු ලැබ, 1897 දී මාධ්‍යවේදියෙකු විසින් යළි ලෝකයට හඳුන්වා දෙන තුරු ම නිහඬ දිවියක් ගත කළා.
මේ සමඟ සමාජයේ නොමඳ ගෞරවාදරයට පත් මෙතුමා සිය සැඳෑ සමයේ දී, ලොව ප්‍රථම නොබෙල් සාම ත්‍යාගය (1901) ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබුවා. ස්වාර්ථය නොතකා සිය දිවිය ම මිනිස් වර්ගයා වෙත දයාවෙන් දියකර හැරි හෙන්රි ඩුනට් මහතා කිසිඳු අවමංගල්‍ය සැමරුමකින් තොරව ම 1910 ඔක්තෝබර් මස 30 වන දා අවසන් ගමන් ගිය ද, එතුමා තැබූ මුල් පියවර අද වන විට, යුද්ධ, වසංගත, ස්වභාවික උවදුරු, දරිද්‍රතාවය යනාදී ඕනෑ ම පීඩාකාරි මොහොතක ලෝක වාසී සියළු දෙනාට ම සහෝදරත්වයේ සැනසුම ගෙන එන අති විශාල සංවිධානයක් ලෙස වර්ධනය වී ඇති බව නිසැක ය. එතුමාගේ උපන් දිනය ජත්‍යන්තර රතු කුරුස දිනය වශයෙන් 1948 සිට වාර්ෂික ව සමරනු ලබන්නේ ද නිර්මාතෘවරයාට ගෞරව පිණිසයි.
By Rtr. නිපුනි කඩුපිටිය
Image Credit:
References:
https://www.icrc.org/en/doc/resources/documents/misc/57jnvp.htm
https://www.nobelprize.org/prizes/peace/1901/dunant/facts/
Navodhya Laksarani says
Nicely written 😍