යන්නට ඇරී සරසවි දොර නැති හන්දා
අයියත් රෝද තුනකට නිති පෙම් බැන්දා
හංගන් කඳුළු ඇස් දෙක කොනකට රන්දා
ගුරු සිහිනයත් අතහැර මැෂිමට වැන්දා
ගෙදරට බර නිසා දී අතැඟිලි බන්දා
යන්තම් විස්සෙ දී දරු උකුළට කැන්දා
ඉගෙනුම නැති එකී යැයි හැම තැන නින්දා
අපටත් දිනෙක ඉර පායයි දෝ මන්දා
සහශ්‍රා දිනසිරි
රටක තරුණ පරපුර වනාහී එම රටෙහි දියුණුව කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට මනා වූ විභවයක් ඇති පිරිසකි. නමුත් වත්මන් ශ්‍රී ලාංකේය තාරුණ්‍යය තම සම්පූර්ණ ජීවිතයම එක් විභාගයකට ලඝු කොට තිබීම සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණකි.
වසර දහතුනක පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපන වරම් ලබන සහ විධිමත් කර්මාන්තයක නියැළෙන අතලොස්සක් වූ පිරිස හැරුණු කොට පාසලෙන් නික්ම සමාජය වෙත පියනගන තරුණයා, තරුණිය ඉන්පසුව තම ජීවන දිශානතිය යොමු කරන්නේ කිනම් දිශාවකට ද? බොහෝ විට ඔවුන් ගේ දේවතාවන් වන්නේ රෝද තුනක් හෝ මැෂිමක් විය හැකි ය. එම කර්මාන්තයන් පවා නිවැරදි ව ඉදිරි ගමනට පිටිවහලක් කර ගන්නා පිරිසක් ද වේ.
නමුත් උසස් අධ්‍යාපන වරම් නොලද පමණින් ජීවිතය කටු අකුලක් කරගත යුතු නොවන්නේ ය. අද සමාජය තුළ සියලුම දෙනා වෙනුවෙන් නව මං මාවත් විවර වී තිබේ. ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඇත්තේ එක් මාවතක් පමණක් නොවන බව තරුණ තරුණියන් දැනගත යුතු ය. එක් උත්සහයක් සාර්ථක නොවූ පමණින් සියල්ල අඳුරු මාවතකට පතිත කර ගැනීම නුවණට හුරු නොවන්නේ ය. කළ යුත්තේ තමා ගේ හැකියාවන්ගෙන් උපරිම ඵල නෙළිය හැකි මගකට ගමන් කර ජීවිතය ජය ගැනීමයි. මේ යොවුන් හද අඹරට ඔවුන්ගේ ජීවිතය ගැන යහපත් තීරණ ගැනිමට කරන ආයාචනයයි.
Image credits:
Leave a Reply