
අපායක් චූටි දූ අපි ඉන්න මේ ලෝකෙ
අරන් එන්නම් ටිකක් සුර සැපෙන් ඒරොප්පෙ
කෑරලෙක් ඉකි බින්දා අමාවක ගන අඳුරෙ
සිප් කිරිත් නැති වුණා මව් කිරිත් නැති විමනෙ
මල්වරයි චූටි දූ මව් සෙනේ නැති ගෙපළෙ
රොන් ගන්න මත් බමරු තුන්යමේ තනි රැක්කෙ
සුර සැපත් ගෙන අරන් අම්ම මෙහෙ එන දවසෙ
මල තලා පොඩි කලා ඒ බමරු ඒ දවසෙ
-නවෝද්‍යා ලක්සරණි-
දරුවන්ගේ කුස පුරවන්නට ද නොහැකි තැනට දරිද්‍රතාවය විසින් තම පවුල ඇද දමනු ලැබු කලෙක බොහෝ මව්වරුන් තෝරා ගන්නේ මැද පෙරදිග ගෘහ සේවයයි. ඒ පොල් අතු වහලෙට උළු කැට සෙවිලි කර ගන්න, කටු මැටි බිත්ති සිමෙන්ති ගඩොලින් බැඳ තිබෙනු දකින්න සහ දරුවන්ට සැපවත් ජීවිතයක් උදා කර දෙන්න. මෙසේ විදෙස් සේවයට ගොස් වද හිංසාවන්ට ලක් වූ කාන්තාවන් පිළිබඳව විටින් විට මාධ්‍ය අනාවරණය කළත්, එලෙස අවධානයට ලක් නොවූ තවත් පැතිකඩක් වන්නේ මෙලෙස මව විදෙස් ගතවීම නිසා දරුවන්ට අත්වන දුක්ඛිත ඉරණමයි. මෙයින් වඩාත් අසරණභාවයට පත්වන්නේ ගැහැණු දරුවන් ය. මව් නැති නිවසේ සියලුදෙනාට මව් වෙමින් මුළුතැන්ගෙය අතට ගන්නා ඇයට පාසල් ජිවිතයට සමුදීමට සිදුවේ. පියා සහ වැඩිමහලු සොහොයුරා බොහෝ විට බීමට ඇබ්බැහි වී ඇත. නැතිනම් මව එවූ මුදල් නොලද හෙයින් කුලියක් මලියක් සොයන්නට ගොස් ය. ඇය ගැන සොයාබැලීමට දැන් කිසිවෙකුත් නැත. මව එතෙර දරුවන්ගේ තනි රකිද්දී තම එකම දියණිය ගැහැණු පුළුටක් හෝ නොමැති පැළෙහි මල්වරව තනි වී ඇත. මෙතෙක් කල් නොලද ආදරය පිටස්තර පුද්ගලයකුගෙන් හෝ ලැබේ යැයි හැඟුණු විටෙක ඔහු වෙනුවෙන් තමා සතු සියලු දේ පූජා කිරීමට, ජීවිතය පිළිබඳ කිසිඳු ගුරුහරුකමක් නොලත් මැය පසුබට වන්නේ නැත. අවසානයේ පියෙකු නැති දරුවෙකු සමග තනි වන විට ඇයගේ මුළු ආත්මයක විනාශය වී අවසන්ය.
මේ…
ඇය වෙනුවෙන්.

Leave a Reply