උදා වී ඇත්තේ ධනය,බලය වෙනුවෙන් ගුණ දම්වලට පිටුපෑ මිනිසාට සොබාදහම විසින් පාඩම් කියාදෙමින් සිටින කාලයක්……
භෞතික දියුණුවෙන් උදම් වුනු බටහිර රටවල පිරිහුණු මිනිසත්කම ගැන ඛේදනීය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වෙන මොහොතක්….
එනිසා මෙවර එලඹෙන පොසොන් පුන් පොහොය බුදු දහමින් ඔප්නැංවුන මිනිසත්බව සිහිකැඳවීමට සුදුසු ම සමයක්……
මෛත්‍රිය ,කරුණාව,දයාව ඉතිරෙන නිදහස් සිතකට මගකියන බුදු දහමෙන් පෝෂණය වූවෝ නිතැතින්ම උතුම් මනුෂ්‍ය ගුණ ධර්මත්,පරිසරය ත් එකසේ රකිති.
මන්ද ගහකොළ ,සතාසීපාවා මෙන්ම මනුෂ්‍යයන් වන අපද සොබාදහමේ කොටසක්ම මිස හිමිකම් පෑමට යෑම මමත්වයේ මුලාවක්ම බව අවබෝධ වෙන නිසාය.
එදා මිහින්තලය ට වැඩි මිහිඳු හිමි තිස්ස රජුට පැවසුවේත් ඔබේ රජකම භාරකාරත්වයක් මිස හිමිකාරිත්වයක් නොවන බවයි.එනිසා රජු අතින් දඩයමක් වීමට තිබූ මුවෙකුගේ ජීවිතය ද ගැලවිනි .
තමාට හිරිහැර කරන්නෙකුට ප්‍රතිප්‍රහාර දැක්වීමට කෙලෙස් සහිත සිත තමාව පොලඹවද්දී උඩුගං බලා යමින් යහපත වෙනුවෙන් කටයුතු කිරීම මිනිසත්කම උත්කර්ෂයට නැංවීම කි.
මේ එයට අපූරු නිදසුනක් සෙන් බෞද්ධ සාහිත්‍ය යෙන් හමුවන අවස්ථාව කි.
ග්‍රීෂ්ම සෘතුවේ එක් දිනක පුංචි සෙන් භික්ෂුන් දෙනමක් ආමුර් ගංඟාව අසබඩ තොටුපලක සිය වස්ත්‍ර පිරිසිදු කරමින් සිටින අතරතුරේ දී ගං ජලයේ ගිලෙමින් සිටි පුංචි ගෝනුස්සෙකු දැක එවෙලෙහිම ගඟේ වතුරට බැස ගිලෙමින් සිටි ගෝනුස්සාව සැණෙකින් බේරාගෙන ගං ඉවුරෙන් තැබීය.
භික්ෂු දෙනම යලිත් සිය රෙදි සේදීමට පටන් ගත් අතර, ගෝනුස්සාව බේරාගැනීමේදී ගෝනුස්සා විසින් එක් භික්ෂුවකගේ අතට දෂ්ට කරනු අනිත් භික්ෂුවගෙ නිරීක්ෂණය ට හසුවී තිබිණි. ටික වෙලාවකින් ගං ඉවුරේ සිටි ගෝනුස්සා යලිත් ගඟට වැටී ගිලෙන්නට වුනි.. පෙර දෂ්ටනයට ලක්වූ භික්ෂුව විසින්ම යලිත් වරක් ගෝනුස්සාව බේරාගෙන ගං ඉවුර අයිනෙන් තැබුවේය. එවරද ගෝනුස්සා භික්ෂුවට දෂ්ට කළේය.
මේ විදියට කීප වරක්ම ගෝනුස්සා ගඟට වැටී ගිලෙන්න ගිය අතර පෙරකී භික්ෂුව විසින් ඒ හැම වාරයකම ඌව බේරා ගනු ලැබීය. ගෝනුස්සා විසින් ඒ හැම වරකම භික්ෂුවගේ අතට දෂ්ට කිරීමත් සිදු විය. නමුත් භික්ෂුව සිය උත්සාහය අත්හැරියේ නැත.
මේ දෙස සාවධානයෙන් බලා සිටි අනෙක් භික්ෂුව දෂ්ටනයට ලක් වූ භික්ෂුවගෙන් මෙසේ ඇසුවේ ය.
“ගෝනුස්සා ඔබට මෙච්චර දෂ්ට කරද්දීත් ඇයි ඔබ ඌව බේරගන්න මේ තරම් උත්සාහ කරන්නේ”
“ඌ ගෝනුස්සෙක්. විෂ ගැබ්ව තිබීම උගේ වරදක් නෙවෙයි. ඒක උගේ ජීව ලක්ෂණයක්. බිය වූ විට දෂ්ට කිරීම ගෝනුස්සාගේ සාමාන්‍ය ස්වභාවයයි. මම සෙන් භික්ෂුවක්. දුකට විපතට පත් වූ අයට උදව් කිරීම මගේ ස්වභාවයයි. ගෝනුස්සාගේ ස්වභාවය දෙස බලා මට මගේ ස්වභාවය වෙනස් කරගන්න බැහැ”
භික්ෂුව පිළිතුරු දුනි.
සෙන් ඉගැන්වීම්වල ඇත්තේම සොබාදහම මූලික කරගත් සරල කතාන්දර වේ. ඒවායින් ජීවිතයට ගත හැකි ආදර්ශනම් සුළුපටු නොවේ.
අපි මනුෂ්‍යයෝය. තිරිසනුන්ට වඩා මානසිකවත් අධ්‍යාත්මිකවත් බොහෝම උසස්ය. සමහර මිනිසුන් තිරිසනුන් මෙන් අපේ ජීවිතවලට නපුරුකම් කරද්දී, අපි සැබෑම මනුෂ්‍යයන් මෙන් ක්‍රියා කල යුතුය. තිරිසනුන් ඉදිරියේ මනුෂ්‍යයන් විය යුතුය.
මෙම කතාව තුලින් තවදුරටත් අපට අවබොධයෙන් ජිවත් වීමට පාඩම් කියාදෙයි.ඉන් එකක් නම් දුර්වලතා ඇති අයගේ ස්වභාවයන් වලට කෝප නොවි ඔවුන්ට ජිවිතයේ අවබොධාත්මකව ගොඩනගා ගැනිමට කාරුණිකව උපකාර කල යුතුය යන්නයි.තවත් කාරණයක් නම් අනෙකාගේ දුර්වලතා නිසා තමා අනවබෝධය ට පත්නොවී සිටීමයි.
දහම තුලින් මිනිස් ගුණදම් වඩමු.සොබාදහම රකිමු .එවිට අපද රැකෙනු ඇත.
තෙරුවන් සරණයි!
-ජනිත් චතුරංග-
Leave a Reply