වෙනදා නිල්ල ගහමින් තිබුණ තැනිතලාව අද ගුරු පාටට හැරිල. ගස් වල අතු ඉති වසා ගෙන තිබුණ කොළ මල් ඔක්කොම වේලිලා බිම වැටිල තිබුණෙ හරියට අපිටත් අවස්ථාවක් දෙන්න කියල සොබාදහමෙන් ඉල්ලන්න වගේ. වෙනදා ඇලේ ඉන්න මාළු රංචු එක්ක හරි හරියට තරඟ කරපු සීතල වතුර පාර මේ ඉඩෝරයත් එක්කම හිඳිල ගිහින් තිබුනෙ රංචුවෙ හිටපු සමහර මාළුන්ගෙ මරණයට සාක්ෂිත් එක්කමයි. හැබැයි සමහර තැන් වල ඉතුරු වෙච්ච දිය කඩිති වල ජීවිතය යන්තමින් ගැටගහ ගත්ත මාළුත් හිටියේ නැතිවාම නොවෙයි. ඉඩෝරය පරිසරය මුළුමනින්ම වෙනස් කරල තිබ්බෙ වෙනස් නොවෙන කිසිම දෙයක් නෑ කියන දෙය සාක්ෂි සහිතවම ඔප්පු කරන්න වගෙයි.
වතුර සොයමින් ඉබා ගාතෙ යන සත්තු එක්ක ඉරි තැලිල වෙලිලා ගිය මහ පොළව ඉඩෝරයේ කර්කශක බව හොඳින්ම කියා දෙනව. ඉඩෝරය එක්ක පොර බදමින් දවසින් දවස කාලය ගෙවිල යන්නෙ වර්ෂාව කෙදිනක හෝ ලැබෙයි කියන බලපොරොත්තුවත් එක්කමයි. මේ සොබාදහමත් හරිම පුදුමාකාරයි. ඉඩෝරය අවසාන කරමින් වැහි බිංදු පොළවට පතිත වෙන්න පටන් ගන්නෙ ඉඩෝරයෙන් බේරෙන්න ජීවිත ගැට ගහන් හිටපු හැම කෙනෙක්ටම අලුත් ජීවිතයක් අරන්. ගස් වැල් දළු දාලා මල් පිපෙන්න පටන් ගන්නෙ අලුත් අරම්භයේ සක්ෂිකාරයින් විදියට. සුපුරුදු විදියටම නොවුනත් ඒ හැම කෙනෙක්ටම අලුත් ජීවිතයක් අරගෙන සොබාදහම නැවතත් එයාගේ සුපුරුදු රාජකාරිය කරනව.
කොරෝනා වසංගතයත් එක්ක මේ ගෙවෙන කාලවකවානුවත් හරියට ඉඩෝර සමය වගේම තමයි. සුපුරුදු ජීවන රටා වලින් වෙනස් වෙලා නොපුරුදු පුරුදුත් එක්ක සුපුරුදු ජීවිතය ගත කරන්න අපි පුදුම අරගලයක යෙදිලා ඉන්නව. නැවතත් රාජකාරියට, පාසලට, විශ්ව විද්‍යාලයට යන්න අතහැරිල ගිය උපන්දින සාද, ප්‍රිය සම්භාෂණ වලට සුපුරුදු විදියටම සහභාගී වෙන්න අපි දින ගැන ගැන බලන් ඉන්නෙ රට යථා තත්වයට පත්වෙන කල්.
ජීවිතේ කවදාවත් නොහිතපු විදිහට දීර්ඝ නිවාඩුවක් එක්ක ගෙදරටම වෙලා ඉන්න ගමන් අපිට අපි ගැනම සිතා විමසා බලන්න අපූරු අවස්ථාවක් ලැබිල තියෙනවා කියල කිව්වොත් මම හිතන්නෙ ඔබ ඒ කියමනට එකඟ නොවී ඉන්න එකක් නැහැ. කරමින් හිටපු හැම වැඩකටයුත්තක්ම මොහොතකට නවත්තල අපෙ ජීවිත ගැන ආපහු හැරිල බලන්න ලැබුණ හොඳ අවස්ථවක් විදියටත් අපිට මේ කාලය දකින්න පුළුවන්. සුභවාදී ආකල්ප පිළිබඳව ඔබ දරන මතය කොයිවගේද කියන්න මම දන්නෙ නෑ. හැබැයි හැම කළු වළාකුලකම රිදී රේඛාවක් තියෙනව කියන කතාව මම ආපහු මතක් කරන්න කැමති.
අධික වැඩ රාජකාරි එක්ක අපිට අමතක වෙලා තිබ්බ සොබදහම, ඒ වගේම අපේ ආදරණීය පවුල මේ හැම දෙයක් එක්කම කාලය ගත කරන්න නොසිතූ විරූ අවස්ථාවක් ලැබිල තියෙනව.වෙනදට ගෙදර ඉන්න අම්මගෙ තාත්තගෙ සැප දුක විමසන්නවත්, ඒගොල්ලන්ට උදව් කරන්නවත් වෙලවක් වෙන් කර ගන්න අපේ කර්යබහුල කාල සටහන අස්සෙ බැරි වෙන්න පුලුවන්. ඒත් දැන් ඒ දෙයට කාලය ලැබිල නේද? ගෙවත්තෙ තියෙන ගස් වැල් මොනවද? ගෙවත්තට එන කුරුල්ලො මොනවගේද? කියල බලන්නවත් එළියට නොබැහැපු අපිට ගස්වැල් හිටවන්න ඒවට සාත්තු කරන්න, කාලය අරන් ඒව වැඩෙන හැටි බලන්න දැන් අවස්ථාවක් ඇවිත්.
බීජයක් හිටවපු ගමන් පැළයක් ලැබෙන්නෙ නෑ කියන කතාව වගේම මල් පිපිල ඵල දරන්න කාලය එනතුරු ඉවසගෙන ඉන්න ඕන කියන කතාවත් ප්‍රයෝගිකව අත්හදා බලන්න අවස්ථාවක් ඇවිත්. න්‍යෂ්ටික අවි ආයුධ හදමින් බල අරගලයක් පස්සෙ දිව්ව මිනිස්සුන්ට අන්තිමට ජීවිතය තරම් කිසිම දෙයක් වටින්නෙ නෑ කියන යථාර්තය අවබෝධ කරවන්න පුංචි වෛරසයක් සමත් වෙලා කිව්වහමත් විශ්වාස කරන්න ටිකක් අමාරුයි වගේ.
කාලයත් එක්ක මේ කොරෝනා (කොවිඩ්-19) වසංගතය ලෝකයෙන් තුරන් වෙලා යාවි. ඉතිහාසය පුරාම වුන සුපුරුදු විදිහටම. ඒත් ඒකට කොයිතරම් කාලයක් ගත වෙයිද කියන්න අමාරුයි. ඉතිං ඒ වෙනකම් පරිස්සමින් එදිනෙදා වැඩ කටයුතු කරන එක තමයි අපේ වගකීම. සෞඛය අංශ පවසන නීති රීති වලට අනුගත වෙමින් නිතර සබන් යොදා අත් සෝදමින්, මුඛ ආවරණ නිසි ලෙස භාවිතා කරමින්, සමාජ දුරස්ථ භාවය රකිමින් අනෙක් අයට උදව් කරමින් හිටියොත් අපිටත් අපේ ජීවිත වලට ඉඩෝර කාලය අවසන් කරල වසන්තය ගැන බලපොරොත්තුවක් ඇති කරගන්න අවස්ථාවක් ලැබේවි.
-නිමේෂා එදිරිසිංහ-
Image credits: https://images.app.goo.gl/etGuvtQN9TKT9oQv9
Leave a Reply