පරතෙරක් නොපෙනෙනා , කඳුලකුදු ආලෝකයක හෝඩුවාවක් වත් නොමැති ඝන අන්ධකාරයක ඔබ තනි වුවහොත්, සරණක් නොමැතිව ඔබ කෙතරම් අසරණද? තිගැස්මක් පමණක්ම මුළු හදවත පුරා දෝංකාර නොදේවිද? එවන් හදවතක් සුවපත් කළ හැක්කේ, ආලෝකයටම මිස අන් කවරකටද?
ඝනදුරින් වෙලාගත් රෑ අහස් ගැබ සිසාරා පායනා සඳකැන් ඒ අහස් ගැබට එක් කරනා සිසිලස මෙපමණක් යැයි කියා නිම කළ නොහැක. ඒ නිසාමයි එදා මෙන් අදත් වෙසක් පෝ සඳකැන් මේ මුලුමහත් විශ්මය ඒකාලෝක කරමින්, ගම් නියම් ගම් සිසාරා අප හැමගේම සිත් සිසිලසින් පුවරාලන්නේ .
වෙසඟ යනු සැබැවින්ම උතුම් මංගල්‍යයකි. බෞද්ධයන්හට සෑම වසරකම හමුවන්නා වූ, සිත් පහන් කරනා මෙම වෙසක් මංගල්‍යය තරම් උතුම් වූ වෙනත් පොහෝ දිනයක් නොමැත. වෙසක් මංගල්‍යය මෙතරම් වැදගත් වන්නේ, මේ උතුම් පෝදා මේ මුළු මහත් ලෝක ධාතුව තුළම ඉතා වැදගත් සිදුවීම් ත්‍රිත්වයක්ම සිදුවීම මුඛ්‍ය කොට ගෙනය.
මහාමායා දේවියටත්, සුදොවුන් රජතුමාටත් දාව උතුම් පින්වන්ත පුත් කුමරෙක් මෙලොව එළිය දුටුවේය. ඔහු නමින් සිද්ධාර්ථ විය. මෙය උතුම් වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනයක සිදුවිය.
සියලු සත්වයන් මේ සංසාර දුකින් මුදවා ගැනීමේ අදිටනින් පරම සත්‍යය සොයා අභිනික්මන් කළ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ මුළුමහත් විශ්වමය සුවපත් කරමින් ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ උතුම් වෙසක් පුන් පොහෝ දිනයකදීය.
එලෙසම මේ මහා ලෝක ධාතුවම කම්පා කරමින් සුගත තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවේද උතුම් වෙසක් පොහෝ දිනයකදීය.
වසර 2500 යකටත් වඩා කාලයක් ඉක්ම ගියද, මේ උතුම් මංගල්‍යය බෞද්ධ බැතිමතුන් සමරන්නේ විවිධාකාර වූ යහපත් දාන, ශීල, භාවනා වැඩසටහන්වල නිරත වෙමිනි.
එදා දීපංකර බුදුපියාණන් වහන්සේගේ පාද මූලයේදී, සුමේධ තාපසතුමන්, දිනක ගෞතම බුද්ධත්ත්වයට පත්වන ලෙස නියත විවරණ ලබන්නේ, සිය දහසකුත් ලෝදනන් මේ මහා සංසාර බියෙන් මුදාගැනීමේ තිර අදිටනනි.
මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේ මනුසත් භවයක් ලබා සිටිනා ඔබත් මමත් සුගත තථාගතයන් වහන්සේගේ උතුම් බුද්ධ ශක්තියේ පිහිට ලැබීමට වාසනාවන්ත වූ පින්වත් පිරිසකි.
උන්වහන්සේ තම ස්වයංවූ ඥානයෙන් දැන දැකගත් උතුම් පරම සත්‍යය මේ මුළු මහත් ලෝකයාට දේශනා කොට වදාළේ අප හැමදෙනාම මේ බියකරු සංසාර සාගරයෙන් මුදවා ගැනීමටයි.
උන්වහන්සේ දේශනා කළ වදාළේ ආගමක් නොව, ධර්මතාවයකි, තමාටම දැන දැකගත හැකි පරම සත්‍යයකි. කිසිකලෙක බුදු දහම ආගමක් ලෙස වැළඳ ගැනීමට බුදුරජාණන් වහන්සේ දේශනා නොකළහ. මේ උතුම් ධර්මතාවය තම තමාගේ ප්‍රඥාවට ගෝචර වන්නේ කෙසේද, එය තමාටම බහා ගලපා බැලීමට උන්වහන්සේ දේශනා කොට වදාළහ. මේ උතුම් අරිය මඟට පිළිපන්, අරිය උත්තමයන් වහන්සේලා අදටත් අප අතරම සිටිමින්, මේ අරිය මඟ පෙන්වා දෙන්නේ මහා කරුණාවෙනි.
ඔබට උපතේදී දෙමව්පියන්ගෙන් ලද බෞද්ධ යන සහතිකය ඉක්මවා ගිය සැබෑ බෞද්ධයෙකු වීමට බුදුපියාණන් වහන්සේ මඟ පෙන්වූ සේක.
තණ්හාවෙන් වෙලී, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගැලී අවි අමෝරා යුධ වැදීමට පැමිණි අසරණ අංගුලිමාලයන් හට, බුදුපියාණන් වහන්සේ සතු වූයේ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන චතුර්විධ ආයුධ පමණි.
මිරිඟුවක් පසුපස හඹා යන මුව රංචුවක් ලෙසින්, තවකෙකුත් පරයා ලබන්නට තරම් වටිනා දෙයක් නොමැති කල්හි, හැම දෙනාටම මෙත් සිතින්, අනෙකාටද අත දෙමින්, හැමදෙනාගේම අදහස් වලට ගරු කරමින්, සතුටින් සුන්දරව ජීවත් වීමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය මඟ පෙන්වන්නේය.
මනසින් උසස් යන වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම,සැබෑ මිනිසෙකු වන්නට හැකිනම්, ගුණධර්ම එකින් එක රෝපණය කරන්නට හැකිනම්, තමන් පමණක් නොව මුළු මහත් සොබාදහම ම සුවපත් කරනා වෙදැදුරෙකු වේවි ඔබ, ගිලන් වූ මේ ලෝසතුන් සුවපත් කරනා.
උතුම් ගුණ දම් සිත් හොවා,
ඔබේ හදමඩල පිවිතුරු කර ගත හැකි නම්,
එයද බුදු කුටියකි,
බුදුන් වැඩ සිටිනා…..
-අයෙශ්මා අදිකාරි-
Leave a Reply