දියමන්ති ලෙස දිදුළන දෑස ද
නැවුම්ව විකසිත වන සිනහව ද
නැවත වරක් හමු වෙන්නට ආයාචනා ගෙනෙයි
ඔවුන් අතරෙන් අයෙක්
සීමා මායිම් නොතකාම අනාගතයට ඉණිමං තනයි
ශක්තිමත් , සුවිසල් සිහින මවයි
සිතෙහි නොසැලෙන අධිෂ්ඨානයෙන් ඉගිලෙයි
ඔව් අපට වඩා තියුණු දෑසින් යුක්තයි
ඔවුන් අතරෙන් අයෙක්
වසරකට තෙවරක් පමණක්ම උදාවෙන
වසන්තය උදෙසා ඇඟිලි ගනිමින් සිටියි
දෙමව්පියන් දැකීමේ සතුටෙන් ඉපිලෙන ඇය
ඔව් අපට වඩා තම ආදරණීයයන්ගෙ වටිනාකම දනියි
ඔවුන් අතරෙන් අයෙක්
විප්ලවීය, නිර්මාණත්මක වචනයෙන් අපගේ සිත් කලඹයි
කොහේ සිට පැමිණි කවියෙක් දැයි සිතෙයි
ව්‍යාජයෙන් පිරුණු ලෝකයේ සත්‍ය දනියි
ඔව් අපට වඩා අවබෝධයෙන් ජීවත් වෙයි
ඔවුන් අතරෙන් අයෙක්
නිශ්ශබ්දව සිනහව පමණක් පළඳියි
විශ්ව කෝෂයක් විය හැකියි
නවකතාකරුවෙක් විය හැකියි
ඔව් අපට වඩා කාලයේ වටිනාකම දනියි
ඔවුන් අතර අපි
දුක දිනා හිනැහී ම පමණක් නොව
තවත් පියවර ඉදිරියට පා තබන
ඔවුන් ඉදිරියේ
පරාජිතයන් නොවේද ?
-අනුජිතා කහදූව-
Leave a Reply