රොටරැක්ට්ලා කවදත් රට දැය උරට
හෙට දින ලක්මව කිරුළින් සරසන්ට
සිසු නැණ මල් සිප් සතරින් පුබුදන්ට
‘අඛංකාර’ සීතාවක පුරවරට
අපෙ අයියල, අක්කලගෙ මඟ පෙන්වීමත් එක්ක, බොහොම සද්භාවයෙන්, හරිම උද්යෝගයකින් තමයි මම කොළඹ විශ්ව විද්‍යාලයීය රොටරැක්ට් සමාජයෙන් ‘අවුරුද්දක් පාසා’ සංවිධානය කරන, අඛංකාර අධ්‍යාපන සත්කාරයට ඉස් ඉස්සෙල්ලම මේ අවුරුද්දෙ සහභාගී වෙන්නෙ. ඈත දුෂ්කර ඉස්කෝලෙකට ගිහිල්ල, ඒ ළමයින්ට අකුරක් හරි උගන්නල එන්න හිතේ ලොකු ආසාවක් තිබුණට, කලින් කවදාවත් මට අවස්ථාවක් නම් ලැබිල තිබුණෙ නෑ.ඔන්න ඔහොම ඉන්නකොට තමයි, මට අපෙ හෂිනිගෙන් මේ අඛංකාර වැඩසටහන ගැන විස්තර පැහැදිලිව දැන ගන්න ලැබෙන්නෙ. ඒ මොහොතෙ ඉඳන්, ඇති වෙච්ච නිම්හිම් නැති ආසාවත් එක්ක, දන්න කියන හැම පැත්තටම කතා කරල, ඉක්මනින් දිනයක් දා ගන්න දැඟලුවත්, තවත් ඉතිං ඉවසන්න වෙන්නෙ, මුල් දවස් සේරම අපෙ කට්ටිය, ඒ වෙනකොටත් වෙන් කරගෙන තිබුණු නිසාමයි. ඔහොම ඉන්නකොට, අපෙ අයෙෂ්මාගෙන් පයිංඩයක් ලැබෙනව, සැප්තැම්බර් 15 තියෙනව, වැඩේට කැමතිද කියල. මාත් ඉතිං එක පයින්ම හා කියල බාර ගන්නෙ කියාගන්න බැරි හරිම සතුටකින්.ඒ අනුව 15 වෙනිදා, ඉංග්‍රීසි වලට අපෙ හිරුමි , අයෙෂ්මා ත්,, විද්‍යාව වලට අපෙ පසිඳු , නිපුනි,අවිශ්ක ත්,, ගණිතය වලට අපෙ කුෂ්ලානි, මා ත් පළමු වසර නියෝජනය කරමින් එකතු උනා. දෙවන වසරෙන් නඳුන් අයියාත් අසිත අයියාත් එකතු උනා. අපෙ අයෙෂ්මායි, නිපුනියි කොළඹ කොටුව බස් නැවතුමෙන් උදේම, ඒ කිව්වෙ 6:15 ට විතර ගන්න 122 අවිස්සාවේල්ල – කොළඹ බස් එකේ අංකෙ අපි ඔක්කොටම කල් ඇතුව දන්වන්නෙ, එතකොට හැමෝටම එකටම එහාට යා ගන්න පුළුවන් නිසා.මම, අපෙ අවිශ්ක, පසිඳු, හිරුමි , කුෂ්ලානි ඔන්න ඔය කියපු පිළිවෙලට තමයි ගමන අතරමඟින් මේ බස් එකටම අපේ පළමු වසර ගුරුවරු නඩය එකතු වෙන්නෙ. අපෙ අයෙෂ්මාගේ සන්නිවේදනයත් එක්ක, පළමු වසර හැමෝම කලට වෙලාවට නියමිත තැන්වලට ඇවිදින් ඉඳපු නිසා, කතාකර ගත්තු විදියට එකම බස්එකට නැගගන්න පුළුවන් උනා.සෙනඟත් සැලකිය යුතු විදිහට ඉඳපු නිසා, මුලදි මුලදි ඉඳගන්න ලැබුණෙ නැති උනත්, මගක් යන කොට හැමදෙනාටම ආසන හිමි උනා.ඒ යන අතරෙ, අපෙ අයෙෂ්මා ගෙදරින් බොහොම රසවත්ව හදාගෙන ආපු කඩල තෙම්පරාදුව රස විඳිමින්, කතාබහ කරමින්, අපේ ගුරු පිරිස ඉදිරියටම ඇදුණා. රු. 97 ට කොටුව – පුවක්පිටිය ටිකට් ගත්තු අපි පුවක්පිටිය දුම්රිය නැවතුම ගාව බස් නැවතුම්පොළට ළඟා වෙනකොට නම් වෙලාව උදේ 8:40 විතර උනා. එතන බැහැලා, තවත් බස් එකක යන්න ඕනලු, ඉතිං ඒ බස් එක පැත්තට ඇවිදන් යනකොට ඕං නඳුන් අයියයි , අසිත අයියයි අපිට මුණ ගැහුනා.උදේම වැස්සකුත් ගිහින් වගේ, හොඳ සීතලක් එක්ක, තැන තැන මඩ වළවල් එහෙමත් තිබුණා.අපි දැන් ඔක්කොම නව දෙනයි , අයියලා දෙන්නයි, අපේ හතයි, කට්ටිය දිහා බලාපුවාම හොඳටම පෙනුණා වැදගත් ගුරුවරු පිරිසක් වගේම තමයි.ඔන්න ඉතිං 9:15 විතර වෙද්දි තමයි බස් එක එන්නෙ 239/2, අවිස්සාවේල්ල – පාදුක්ක බස් එක.අපි පැය බාගයක් විතර වගේ එතන, මොකද ‘බස් ටිකක් අඩුයි ලු’ ඒ පාරෙ දුවන.බස් එකේ වැඩි සෙනඟකුත් නෑ, සීට් දෙක තුනක් හිස්, පටු පාරනෙ, ටිකක් අබලන් වෙලා. ඒ මදිවට වැස්ස, පාරත් තෙතයි, ඔය ඔක්කොමත් එක්ක හෙමින් හෙමින් තමයි බස් එක යන්නෙ.හරියටම කිව්වොත් සීතාවක උද්භිද උද්‍යානයට අල්ලපු වැට තමයි මේ ඉස්කෝලෙ තියෙන්නෙ. බප/ හෝ/ ඉලුක්ඕවිට කනිෂ්ඨ විද්‍යාලය. ඉස්කෝලෙ ඉස්සරහම බස් එක නතර කරන නිසා හුඟක්ම පහසුයි.අර තිබුණු වැසි ගතිය දැන් හීන් පොද වැස්සක් වෙලා, ඒත් එක්ක ඇඟට හරිම සනීප හොඳ සීතලක් තිබුණා. අපිව පිළිගන්න ඉස්කෝලෙ විදුහල්පතිතුමා ‘පුංචි කෑම මේසයකුත්’ ලෑස්ති කරල තිබුණා.සීතලත් එක්ක, දිගටම ආපු බස් ගමනත් නිසා, කට්ටියම සංග්‍රහය බොහොම ආසාවෙන් ලබාගත්තා .ඇත්තටම හොඳ ප්රබෝධයක් උනා. ඒ සංග්‍රහය අතරෙදි නඳුන් අයියයි, අසිත අයියයි අපිත් එක්ක කතා වෙලා, උදෙන්ම ගණිතයෙන් පටන් ගමු ‘ යි සම්මත උනා.අපේ ගුරු පිරිස විගහට පන්තිය දිහාට ගියෙ ඉක්මනටම පාඩම පටන් ගන්න. ‘හරිම පුදුමයක්’ කියන්නෙ, අද ඉරිදා දවස වෙලත්, ළමයි ඔක්කොමල වගේ ඉස්කෝලෙ ඇවිදින්.දෙතුන්, දෙනෙක් ඇරෙන්න හැමෝම නිලඇඳුමින්.වොලිබෝල් තරග වලට ඉදිරිපත් උනා කියපු මල්ලිල දෙන්නාට අමතරව අනිත් හැමෝම ඇවිත් ! මල්ලිලා හයයි, නංගිලා තිහයි වගේ පන්තියෙ හිටියා.දෙපැත්තෙන්ම විවෘත සාමාන්‍ය ඉඩ තියෙන පන්ති කාමරයක්, 11 වසරටම ඔය පන්තිය තමයි ඉතිං. විදුලි පංකාවක් එහෙමත් නෑ මේ පන්තියට. නඳුන් අයියා අපේ රොටරැක්ට් ගුරු පිරිසව පන්තියට අඳුන්නල දෙනකොට අපිට පොඩි ආඩම්බරයක් එක්ක පොඩි ලැජ්ජාවකුත් දැනුණා.ඊට පස්සෙ, නඳුන් අයියයි, අපෙ කුෂ්ලානියි, මමයි අපි තුන් දෙනා මාරුවෙන් මාරුවට ‘කළු ලෑල්ලෙ’ ගණිතය ඉගැන්නුවා. ඒ අතරෙදි, අපිත් එක්ක ආපු අනික් කට්ටිය, ‘වෙන වෙනම ළමයි ළඟට’ ගිහිං එයාලගෙ තත්වය හොයල බැලුවා. ‘කුඩා පොදු ගුණාකාරය’, ‘වීජීය සාධක’ වගේ කලින් දවසෙ කෙරුණු පාඩම් පොඩ්ඩක් මතක් කරගෙන ඉවරවවෙලා, ඒ කොටස් වලින්ම අභ්‍යාස කීපයකුත් දීලම බැලුවා කොහොමද කට්ටියගෙ මතකෙ කියලා. කියන්න සතුටුයි, එකපාරට පොඩ්ඩක් හිර උනාට හැමෝම වගේ ඒ පාඩම් මතක් වෙලා, දීල තිබ්බ ටික ඉක්මනින් අල්ල ගත්තා. ඒත් අමතක අය තුන් හතර දෙනෙක් ඉඳපු නිසා තවත් පොඩ්ඩක් ඒ ප්‍රශ්න කරලා හැමෝවම බලාපොරොත්තු වෙච්ච මට්ටමට ගත්තා.
ඒ අතරෙ මමත් ළඟට ගිහිල්ල පොත් බල බල වැරදි , අඩුපාඩු සාකච්ඡා කළා. කළු ලෑල්ලට වඩා එහෙම කරන කොට ළමයි සමීප වෙනවා වැඩියි. ඊට පස්සෙ,අපි ඉක්මනින්ම ත්‍රිකෝණමිතිය පාඩම පටන් ගත්තා. කොටින්ම කිව්වොත්,, සයින්, කොස්, ටෑන් අනුපාත තුන මතකෙ තිබුණු ළමයෙක් නැති තරම් . හැබැයි වැඩේ කියන්නෙ, එයාල දන් නෑ, මතක නෑ කියන කතාව කියන්නෙත් නෑ , ළඟට ගිහින් අහපුවාම තමයි විස්තරේ කියන්නෙ.කොහොමින් කොහොම හරි, බිංදුවෙම ඉඳල , ලොකු වැල් වටාරම් නැතුව, ‘බය නොවී ත්‍රිකෝණමිතිය ගානකට අත ගහන හැටි’ අපි කියලා දුන්නා.ලොකු රූප සටහන් තිබුණට, දිග වාක්‍ය එහෙම තිබුණට, අර්ථ දැක්වීම් තුනත් එක්ක බැලුවම, ගානෙ ‘ඇති දෙයක් නෑ කියන එක අපි පැහැදිලි කරල දුන්නා. ඊට පස්සෙ අපෙ කුෂ්ලානි ලඝු පොතෙන් සයින්, ටෑන් බලන විදියත් , නඳුන් අයියා කොස් බලන විදියත්, පොත පෙරළන තැනේ ඉඳල, පන්තිය ඉස්සරහට ඇවිදින් කියා දුන්නා. විදුහල්පති තුමා ගෙන් ඉල්ලා ගෙන හැම ළමයටම ලඝු පොත බැගින් ලබා දීල, මුළු පන්තියම එකම රිද්මයට ඒ අගයන් හොයාගන්න පුරුදු උනා. අමතක වෙච්ච අයට මතක් වෙන්නයි, දන්නැති අයට දැනගන්නයි මේ ක්‍රමය ‘හොඳම පිටුවහලක්’ උනා. ඊට පස්සෙ, හිතන්න තියෙන තරමක් ‘සංකීර්ණ ගැටලු’ දෙකක් එක්ක, දශම සංඛ්‍යා, වියුති බලල සුළු කරන විදිහ ‘පියවරෙන් පියවර’ කියා දෙමින් ත්‍රිකෝණමිතිය පාඩම බොහොම සාර්ථකව ඉවර කෙරුණා.ඒ අතරෙම රූප සටහන අමුතුයි වගේ පෙනුණට, ගාන ලොකු උනාට, ඇත්තටම ඇති දෙයක් නෑ කියන කතාව සහ ත්‍රිකෝණමිතියට තිබුණු ‘බය අඩු උනා කියල’ , ඒ සිනහ මුහුණු වලින් අපිට හොඳටම තේරුම් ගියා.පාඩම පටන් ගනිද්දි ත්‍රිකෝණමිතිය අකැමැත්තෙන් හිටපු ළමයි, පාඩම ඉවර වෙනකොට සෑහෙන පියවර ගණනාවකින් ඉස්සරහට ඇවිදින්.ඔන්න ඔය විදිහට ගණිතයේ වීජීය ප්‍රකාශන කලින් දවසෙ කළ පාඩම මතක් කරගෙන , ත්‍රිකෝණමිතිය, අද දවසෙ පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරන්න අපිට පුළුවන් උනා. දවල් කෑම වේලත්, විදුහල්පතිතුමාගෙ අනුග්‍රහයෙන් පැවැත්වුණා. වැහිබර දේශගුණයයි, ගණිතය කොටස බොහොම සාර්ථකව නිම කිරීමේ ප්‍රීතියෙන් අපේ ‘රොටරැක්ට් ගුරු මණ්ඩලය’ හිතේ හැටියට ආහාර ගත්තා. මෙන්න වැඩක් ,, අතුරුපසත් ලෑස්තියි, බොහොම රසවත් පලතුරු සලාදයක් එක්ක, අයිස් ක්‍රීම් !!! ඒ සංග්‍රහයත් අරගෙන ඉක්මනට පන්තියට ආවෙ, තව විද්‍යාව, ඉංග්‍රීසි පාඩම් ඉතුරු නිසා.විවේකයෙන් පස්සෙ විද්‍යාව කොටස උගන්නන්න අපි තීරණය කර ගත්තා. අපෙ පසිඳුයි,අවිශ්කයි,නිපුනියි තමයි විද්‍යාව පාඩම වෙනුවෙන් ආවෙ. එකපාරටම විද්‍යාව පාඩම පටන් ගත්තොත්, වැඩේ සාර්ථක වෙන්නෙ නැති බව දන්න ,අපෙ පසිඳු ‘ගණිත මැජික්’ එකක් කරල, පන්තියම අවදි කරල ගත්තා. ගිය සතියෙ පටන් ගෙන තිබුණු විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ, එතැන් සිට ඉදිරියට සාකච්ඡා කරගෙන ගියා. බොහොම ‘රසවත්, මතකයෙ රැඳෙන’ උදාහරණත් එක්ක සාකච්ඡා කරමින් තමයි විද්‍යාව විෂය ගලාගෙන ගියෙ. විද්‍යාව ප්‍රශ්න පත්රයෙන්ම ප්‍රශ්න අරගෙන ඒ ඔස්සේ පාඩම් කොටස් මතක් කරමින්, බොහොම සාර්ථක විදියට පාඩම් කොටස අවසන් කෙරුණා. පෙළපොත් පෙරළමින් විෂය කරුණු වලට සමගාමීව දැනුම සොයා බැලීමෙන් ඒ ළමුන්ගෙ උනන්දුව, කැපවීම හොඳටම පැහැදිලි උනා. ඒ අතරෙ හිරුමි, නිපුනි, කුෂ්ලානි, අයෙෂ්මා, මම ගිය සතියෙ ළමයින්ට ගෙදරින් හදාගෙන එන්න කියලා තිබුණු ගණිතය ප්‍රශ්න පත්‍ර එකතු කරල, හරි වැරදි ලකුණු කරමින් උන්නෙ.අපි ඒ වෙලේම ලකුණු කරපු, ගණිතය ප්‍රශ්න පත්‍ර ඔක්කොම, වැරදුණු තැන් පැහැදිලිව සටහන් කරල, ඉක්මනටම ළමුන් අතට පත් කළා. ඒ වෙනකොට විද්‍යාව කොටස බොහොම සාර්ථකව අවසන් කෙරුණා.
ඕං ඒ අතරෙ තමයි හවස ‘තේ, විස්කෝතු සංග්‍රහය’ ලෑස්ති කෙරෙන්නෙ, වැහි සීතලත් එක්ක, විද්‍යාව කොටස නිම කරාපු සතුටටයි ගණිතය ප්‍රශ්න පත්‍ර ලකුණු කරපු තෙහෙට්ටුවටයිත් එක්ක ඒ සංග්‍රහය නම් ඉස්තරම්. ඔන්න ඊට පස්සෙ තමයි අද දවසට නියමිත අන්තිම විෂය, ඉංග්‍රීසි. අපෙ හිරුමි, අයෙෂ්මා සහ අසිත අයියා. විද්‍යාව විෂයෙන් ඉංග්‍රීසි විෂයට එක පාරම මාරු උනොත් නීරස වෙන හින්දා නඳුන් අයියා හොඳ ‘විහිලු’ කීපයක් කරල, පන්තිය උණුසුම් කරලා ගත්තා. අසිත අයියා තමයි කළු ලෑල්ලට ලෑස්ති වෙලා හිටියෙ. Singular Plural යෙදෙන තැන්, ඒවායෙ ලක්ෂණත් එක්ක තමයි නියමිත ඉංග්‍රීසි පාඩම පටන් ගත්තෙ.ඊට පස්සෙ clothes , vegetables, fruits, body parts වගේ එදිනෙදා අත්‍යවශ්‍ය වෙන, බොහොම වැදගත් මාතෘකා යටතේ අලුත් වචන ගොඩක්, spellings එක්කම සාකච්ඡා කෙරුණා. අපෙ හිරුමි සහ අයෙෂ්මා මූලිකත්වයෙන් අපි හැමෝම එයාලගෙ පොත් බලමින්, ළඟටම ගිහිං capital, simple ඔය වගේ ‘ප්‍රසිද්ධ වැරදි කරනවද’ කියල හොයා බලමින් විෂය කරුණු කතා කළා. තවත් ටිකක් උණුසුම් වෙන්න, හොඳට දැනෙන්න, මතකෙට පත්තියන් වෙන්නත් එක්ක ‘මහත්තුරු vs වංගුවා’ කියල කණ්ඩායම් දෙකකට පන්තිය බෙදලා, ලකුණු දෙන ‘තරගයක්’ විදියට ඉංග්‍රීසි වචන හඳුනා ගැනීමේ ඉසව්වක් කෙරුණා. හැම ළමයම හිනහවෙවී, බොහොම සතුටින් තරගයටයි, පාඩමටයි එකතු උනා. ඒ අතරෙම අපේ ‘රොටරැක්ට් ගුරු මණ්ඩලය’ පන්තිය පුරා ඇවිදිමින්, වෙන වෙනම ළමයි එක්ක කතා කරමින්, ඒ අය ගැන හොයා බැලුවා.ඔන්න ඔය විදියට උදේ 10 ටත් කලින් පටන් ගැනුණු පන්තිය, හවස 6 ත් පහු උනා ඉවර වෙද්දි. ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව විෂයයන් යටතේ අලුත් පාඩම් කොටස් වලින් දැනුමින් එයාලව තවත් ටිකක් පෝෂණය කරන්න අපිට පුළුවන් උනා. ඉංග්‍රීසි පාඩමත් එක්ක ඒ විදිහට තවත් සාර්ථක අධ්‍යාපන සත්කාරයක් නිම කිරීමේ සතුට සමරමින්, ‘රොටරැක්ට් ගුරු පිරිස’, සෙල්ෆි කිහිපයකටම පෙනී සිටියා. වෙනදා වගේම විදුහල්පතිතුමා කතා කරල දීපු වාහනයක අපිට පුවක්පිටිය හන්දියටම එන්න අවස්ථාව ලැබුණා. ඒ වෙලෙත් බලපුවාම පොද වැස්ස, මේ කරන සමාජ සත්කාරයට තුති ආසිරි පිදීමක්දෝ , මේ පොද වැස්ස අපිට හිතෙන්නට උනා. උදේ ඉඳන් පන්තිය පුරා ඇවිදල කරල, සද්දෙට කතා කරල, පුංචි වෙහෙසක් තිබුණත් අද දවසෙ කරපු මහා පිංකම සිහිපත් වෙද්දි ඒ ඔක්කොම විඩා ගතිය අමතකම උනා. කවදත් සමාජයට දැනෙන, තිරසාර, යාවත්කාලීන සේවාවක් කරන කොළඹ විශ්ව විද්‍යාලයීය රොටරැක්ට් සමාජයේ තවත් එක් ‘රසවත් සත්කාරයක’ මිහිරි පරිච්ඡේදයක් මේ විදිහට සනිටුහන් උනු වගයි !!
ඇස්. මහින්ද හාමුදුරුවන් විසින් රචිත ජාතික තොටිල්ල වීර කාව්‍යයේ එක් සුමිහිරි පද්‍යයක්, නිවෙස බලා දුම්රියෙන් එන ගමනේදී මගේ සිත්හි නිරායාසයෙන්ම මතු විය.
ජාතික දෙව් ගී ගයමූ
මුළු ලෝකෙම මත් කරමූ
නිදහස් දෙව් දූට හමූ
වෙන්ට අපිත් පෙරට යමූ
-ඉෂංක දේශප්‍රිය-
Leave a Reply