ඉරෙන් හඳෙන් එළිය අරන් බබළවලා
ගහෙන් වැලෙන් සුවඳ ගෙනත් සරසවලා
ඇළෙන් දොළෙන් ඒ සිසිළෙන් සනසවලා
පුංචි අයගෙ ලෝකයෙ ලස්සන පිරිලා
ගඟට ගිහිං ඔරු පැදලා එකතු වෙලා
මල් නෙළලා කවි කියලා සිනහ සලා
ගෙඩි කඩලා ගොඩට ඇවිත් සතුටු වෙලා
පුංචි පැංචො මිහිර ගෙනෙති රස මවලා
දැන් නිවාඩු මේ සෙල්ලම් කාලේ ඔන්න
කෝච්චියෙන් ගමේ පැත්තෙ ගිහිල්ල එන්න
පන්තියෙ පළවෙනි ඇවිදින් තෑගිත් ගන්න
පුංචි හිතේ බලන්නෙපැයි පැතුමන් ගොන්න
වෙරළු මසං ජමනාරං හිතේ හැටියට
පිඟන් කෑලි අරන් එන්න සල්ලි වෙනුවට
සීනිබෝල හෝටලේට ගොඩවෙන සැමට
සිත්මල් යස පුංචි සිනා දැනේවි හොඳට
සුළඟක් වී මං යනවා ඇවිදින්න
මහ වතුරක් වී යමි බැහැ නවතින්න
අප්පච්චියි එනවද මා නළවන්න
ළපටි හදේ ආදරෙ කොහොමද ඔන්න
ගවුම් කමිස පොඩ්ඩිත්තක් මහලා දෙන්නම්
මල් මල් සායක් ලේන්සු මහලා දෙන්නම්
කුරුම්බැට්ටි මැෂිමෙන් මම මහලා දෙන්නම්
පුංචි උනත් කම්මැලි බොරු නෑ ඒ අය නම්
කොටු වැටිච්චි පුංචි සරම ඇඳන් නටන්නේ
අක්ක හදන සෙල්ලම් ගෙය කැබලි කරන්නේ
සීනිබෝල ඉල්ලලමයි රණ්ඩු කරන්නේ
ඒ හිත්වල කැකුළු මිහිරි රස ඉතිරෙන්නේ
ජපන් රටෙන් ආවේ මා සොයාගෙන
ඇස් නටවා මා එක්කම සිනාසෙන
බෝනික්කා උණුහුමේට නිදාගෙන
පුංචි උනත් හිත පිරුණේ දයාවෙන
සොඳුරු සිනහවෙන් මුහුණත සැරසෙන්නේ
සුමුදු පිය දසුන් නෙතගේ දැවටෙන්නේ
තාමත් කිරි සුවඳයි මුව වෑහෙන්නේ
ලොවක් සනාලයි පින්බර පැටවුන්නේ
පොකුරු පොකුරු මල් පිපිලා සුවඳ බෙදයි
කිචි බිචි රස කුරුලු ගීත මිහිර සදයි
ලස්සන සිරි මිහිරියාව අසම සමයි
පුංචි පැංචියන්ගේ ඒ දවස අදයි
– ඉෂංක දේශප්රිය-
Leave a Reply