අද සැනසුම වෙනුවෙන් ඊයේ කළ වීරිය
ඔය මුහුණින් පෙනෙන්නෙ ඒ අපමණ දහිරිය
අව්ව වැස්ස රෑ දහවල පරදා ගෝරිය
අම්මෙ තාත්තේ අමිලයි නිම කළ කාරිය
ලේ මස් රුව අපි වෙනුවෙන් කැප කරලා
දහඩිය කඳුළැලි අපමණ වගුරුවලා
දෑතෙ දෙපයෙ සවිබල අප වෙත පුදලා
වඳින්න අවසර ගුණ ගැබ සිහිකරලා
තිබිලත් වේදනා රිදුම් මහ උසට
දරන්න බැරි කැක්කුම් පාරන හිතට
බාධාවක් වෙයි හිතලද අපෙ සතුට
හංගාගත්තේ ඇයි නොදැනෙන ලෙසට
රස ආහර නොගෙන සිතින් රස විඳලා
අපෙ දුක් ගෙන අපිට හොරා ඔබ අඬලා
හැම සුවයම සැපයම අප වෙත යොදලා
සතුටු උනේ අපගේ දියුණුව දැකලා
අපි ගෙවනා මේ ජීවිතෙ බොහොම කෙටී
එහෙම නොහඟවා සකසා මියුරු තුටී
සුන්දර හෙට දවසක් ගොඩ නඟපු හැටී
දහස්වරක් වැයුවත් ගුණ තවත් වටී
නොදැක්ක ලෝකය අප වෙත දිග හැරලා
මාවත පෙන්නන එළියක් සේ රැඳිලා
ගුණ දහමින් හැදියාවෙන් සරු කරලා
සතුටු කඳුළු වැටුණේ එනු දැක දිනලා
හදේ හිරකරන් දුක් ළතැවුල් දහසේ
හෙමිහිට සුළඟට මුසු කරලා රහසේ
වැස්සක් වී වැටෙද්දි ඉහළින් අහසේ
අම්මෙ තාත්තේ ඇඬුණා ඔබෙ පහසේ
එදා වගෙම තාමත් ඔබමයි මට හිරු සඳු
ඔබ නොමැතිව මා තවමත් බිළින්දෙකි බඳු
දුන් සවියෙනි ජීවිතයේ නැග්ගේ මහ කඳු
අමතක වෙන් නෑ ඒ හෙලු කඳුළැලි දා බිඳු
රටේ ලෝකෙ අපි දෙපයින් හිටගත් දාට
ඒ බුහුමන ඔබ වෙතමයි නොව අන් කාට
අපේ අතින් ගරු සැලකිලි පිදෙනා දාට
තිව් මහ ණය බිඳක් ගෙවෙයි අන්න එදාට
බැරි කාලෙක ළඟම තියන් කවා පොවන්න
කිසිම දුකක් දැනෙනු නොදී නිතර බලන්න
කැත කුණු සෝදා අපෙ යුතුකම කරලන්න
අම්මෙ තාත්තේ මා වෙත අවසර දෙන්න
හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න
කැපකෙරුමට පුංචි දෙයක් අපෙනුත් ගන්න
අපිත් එක්ක සෙනෙහෙ පෙමින් වෙළෙන්න එන්න
වැඩිහිටි දිනයයි අද මේ ඇරයුම ඔන්න
-ඉෂංක දේශප්රිය-

Leave a Reply