
“තාරුණ්‍යය” වනාහි බොහොම පුළුල් මාතෘකාවක් වූ කල, එහි පැතිකඩ එකින් එක ලැයිස්තුගත කරන විට, අධ්‍යාපනයට නිසැකවම මුල් පෙළ අසුනක් හිමිවෙනවා. උගත් තාරුණ්‍යයක අවශ්‍යතාවය පිළිබඳ කතිකාවත නිර්මාණය වන්නේ මෙතැන් සිටයි.
මේ ඊට පිළිවදන් දෙන්නට ගත් එක් වෑයමක්.
අධ්‍යාපනය කියන වචනයට පොත්පත්වල නොයෙක් විද්වතුන් දුන්, විවිධාකාර නිර්වචන බොහෝමයක් අපට හමුවෙනවා. නමුත්, ඒ නිර්වචන සෑම එකක්ම වර්තමානයේ දී වලංගු ද? නැතිනම්,ඒ නිර්වචන වෙනස් විය යුතු තැන් තිබෙනවා ද? අධ්‍යාපනය කියූ සැනින් අපේ මනසේ මැවෙන චිත්‍රය තමයි, ගුරුවරයා සහ ගෝලයා අතර අන්තර් පුද්ගල සන්නිවේදනය හරහා, පන්තිකාමරයක කරනු ලබන ගනුදෙනුව. නමුත්, වර්තමානයේ ඒ චිත්රයේ හැඩතල වෙනස් නොවේ ද?

හෝඩියේ පන්තියේ නොදරුවන්ගේ සිටම මේ ගුරුගෝල බැම්ම මැද්දට, අද ඩිජිටල් තිරයකුත් එකතු වෙලා. විශේෂයෙන්ම, වර්තමානයේ තරුණ අප ගත කළ ළමා කාලය තුළ ලැබූ ඒ අධ්‍යාපන රාමුවෙන් අද අපට බැහැර වන්නට සිදුවෙලා. අනාගතය ගොඩනගමින් අප යන මේ ගමනට අලුත් අභියෝග රැසක් එකතු වෙලා.නමුත් මේ විශ්ව ගම්මානය තුළ අපට නැවතී සිටින්නට,ගිමන් හරින්නට ඉඩක් නැහැ. අප නැවතී බලා සිටියදී ඉදිරියට ඇදෙන පිරිස් දිනුම් කණුවට ළඟා වේවි.
කුඩා කාලයේ දී සිහිනෙන් දුටු අනාගත රූප පෙළක් තරුණ අප හැමෝටම තිබෙනවා. ඒ අපේ අනාගතය මේ ආකාරයේ වේවි කියලා. නමුත්,කිසිවෙකු නොසිතූ පරිදි ඒ සියල්ල පසුගිය කාල පරිච්ඡේදය තුළ උඩුයටිකුරු වූ නිසා අපට දැන් අපේ හීන පොත අලුතින් ලියන්නට සිදුවෙලා. භේදයකින් තොරව තරුණ අප සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ, සාර්ථක අනාගතයකට ශක්තිමත් අඩිතාලමක්. මේ සියල්ලත් සමග අපි හැමෝගෙම හිත්වල එක ලෙස දැවෙන ප්‍රශ්නයක් අපේ නින්ද හොරාගෙන ගිහින්. ඒ තමයි “අපිට පුළුවන් ද?” කියන ප්රශ්නය.
ඔව්,අපිට පුළුවන්. වැදගත් වන්නේ අවස්ථා හඳුනා ගැනීමයි. ඒකාකාරී මානයන් ඔස්සේ ගෙවුණු තරුණ සිතුම්පැතුම් තුළින් මිදීමට දැන් කාලය එළඹිලා. ඔබ ඉගෙනීමෙහි නිරත අයෙක් නම් වර්තමානයේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තුළ අපට ළගා විය නොහැකි වපසරියේ එපිට රටවල වුව ද අධ්‍යාපනික අවස්ථා අප වෙත විවෘත වී පවතිනවා. එසේ නොමැති නම්, ඉගෙනීම අතරතුර අන්තර්ජාලය හරහා රැකියාවක නිරත වන්නට ද අවස්ථා ඕනෑතරම් නිර්මාණය වී තිබෙනවා.රැකියාවක නියුතු අයෙකුට වුවද අධ්‍යාපනයට තැබූ තිත වෙනුවට නැවත කොමාවකින් අරඹන්නට අද අවස්ථාව උදා වෙලා. කටුක අත්දැකීම් පුද්ගලයෙකුගේ පෞරුෂය තවදුරටත් මුවහත් කරන නිසාවෙන්, මෙවැනි වාතාවරණයක් තුළ අපට හුරුපුරුදු සාමකාමී අධ්‍යාපන වටපිටාවක් නොතිබුණ ද මේ අභියෝගාත්මක කාල පරිච්ඡේදය ද වෙස් වලා ගත් ආශිර්වාදයක් යැයි අපට සැලකිය හැකි ය.

ලොව පුරා තරුණ ප්‍රජාව මේ වන විටත් මෙම අභියෝග හමුවේ හැඩගැසෙමින් නොනැවතී ඉදිරියට ගමන් කරනු දක්නට ලැබීම සැබවින්ම සුභවාදී කරුණකි. රටක අනාගතය මුළුමනින්ම රැඳී පවතින්නේ එහි තරුණ තරුණියන්ගේ උර මත නිසාවෙන්, දරාගැනීමේ ශක්තියකින් හෙබි, දැක්මක් ඇතිව නොනැවතී ඉදිරියට ඇදෙන තරුණයන් පිරිසක් බිහිවීම,රටක ශක්තිමත්,පැහැදිලි ඉදිරි ගමනකට පෙරමග ලකුණු කියයි.
පාසල ගුරුගෙදර හුරු වී ඇති අපට
ඉගෙනුම කොටුව ඇත ඩිජිටල් තිරයකට
හැඩගැසෙමින් මේ කාලයේ තාලයට
කුමන මග ද උගත් දෙයක් මිස අපට
By Rtr. චලනි විජමුණිගේ
Image credits :

Leave a Reply