
සිතක් විසිරුව මතක මන්දිර
අතර සක්මන් කරන.......
විතක් මී සේ බඹර පැන් පොද
තෙමා තොල් අතර.......
බසක් දොඩවන අරුත් විමසන
මතක සේයා අතර......
කුමක් වීදෝ අසම් සක් මඩල මත
පියාවිදි විහගුන්ට..........?
අරුත් පවසන් කෙසේ මතින් මත් මල් යෞවනයට.......?
යෞවනයත් හරියට හංස පිහාටුවක් වගෙයි. සිනිදුව ශ්වේතව තියෙන පිහාටුව මඩට වැටුණු ගමන් අවලස්සන වෙනවා, අප්‍රියජනක වෙනවා. හැබැයි, ඒ හංස පිහිටුවේ මඩ තවර ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ ඔයාලා. එහෙම මඩට වැටුණු හංස පිහාටුත් අපි මඩේම තියෙන්න ඉඩ හරින්න හොඳ නෑ. අපිට උත්සහ කරන්න පුළුවන්, ඒ හංස පිහාටු වලට තිබිච්ච ලස්සන ආපහු දෙන්න.
“මත් ද්‍රව්‍ය” කියන්නෙත් යෞවනත්වය කියන ඒ හංසපිහාටුව වැටිලා තියෙන එක් මඩ ගොහුරුවක් කියලා අර්ථ දක්වන්න පුළුවන්. ජීවිතයේ ලස්සන බලාපොරොත්තු එක්ක, යෞවනත්වයට පා තබන අපට එන අනන්ත බාධක අතර, සමාජයෙන් අපට එන බාධා ද එමටයි. මත් රකුසා කියන්නෙත් ඒ වගේ සමාජ පිළිලයක්. වත්මන් සමාජය තුළ මේ මත් රකුසාව මිතුරු කරගත් තරුණයෝ මෙන්ම තරුණියන්ද බහුල වශයෙන් සිටීම, අතිශය කණගාටුදායක තත්වයක්. මත් වතුර වලට වඩා දැන් යෞවනයින් පෙළඹෙන්නේ වෙනත් නේක වර්ගයේ මත් පෙති හා මත් කුඩු වැනි දෑ වලටයි. යෞවනත්වය කියන්නේ නොනිම් ආශ්වාදයන් සොයා යන චාරිකාවක්. යෞවනයන් විදිහට ආශ්වාදයේ නිම්තෙර අප දැනගෙන ඉන්න ඕන. මත් ද්‍රව්‍ය කියන්නෙත් යම්කිසි වින්දනයක් ආශ්වාදයක ලබා දෙන දෙයක් වෙන්න පුළුවන්. ඒත් අපි ඒ ආශ්වාදයේ ඉම දන්නවද කියන එක ගැන නම් ප්‍රශ්නයක් තියෙනවා.
යෞවනයන් විදිහට ඇයි අපි මත් ද්‍රව්‍ය වලට පෙළඹෙන්නේ කියන ගැටලුවට හේතු නම් ගොඩක් තියෙන්න පුළුවන්. අපේ මිතුරන් අපිව මත්ද්‍රව්‍ය වලට පොළඹවන්න පුළුවන්. අපේ තියෙන මානසික අසහනය අපව මත්ද්‍රව්‍ය වලට පෙළඹෙන්න හේතු වෙන්න පුළුවන්. විවිධ සිනමා පට පෙන්වන ඇතැම් දර්ශන අපව යෞවනයේදීම මේවාට පොළඹවගන්න හේතු වෙන්න පුළුවන්. වර්තමාන ලෝකය දිහා බැලුවොත්, මේ මත් ද්‍රව්‍ය භාවිතා කරන යෞවනයන් බොහෝ දෙනා මානසික අසහනයෙන් පෙළෙන්නන් කියලා තමයි මගේ නම් අදහස. ඇත්තටම, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමත් එක්තරා විදිහක මානසික අසහනයක් තමයි. විවෘත සමාජ අවකාශයෙන් ඈත් වෙලා, හුදෙකලා ජීවිතයක් ගත කර යන තරුණ තරුණියන්, තම තාරුණ්‍යයේ පරම ආශ්වදය ලෙස මත් ද්‍රව්‍ය මිතුරු කර ගන්න තියෙන අවස්ථාව නම් ඉතා ඉහළයි. හුදෙකලාව හොඳම කලාව වුවත්, යෞවනයන් විදිහට අපි අපේ මිතුරු මිතුරියන් එක්ක ගත කරන කාලයට වඩා නම් ඒක සුන්දර වෙන්න විදිහක් නෑ. ඒ වගේම මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ මිතුරන් නිසා අපිත් ඒවාට පෙළඹෙන්න ඉඩ තියෙනවා. ඒක අපි ආයාසයෙන්ම කරන දෙයක්. අපිට හිතෙනවා, අපේ මිතුරන් මත් ද්‍රව්‍ය භාවිතා කරද්දී අපිත් ඒවා භාවිතා නොකර සිටියොත් සමාජයෙන් කොන් වෙයි කියලා. ඇත්තටම ඒක ඉතා අනුවණ අදහසක්. යෞවනයන් විදිහට තමාට ඍජු තීරණ ගැනීමට හැකි, මානසික අතින් ශක්තිමත් පෞරුෂයක් තිබිය යුතු වෙනවා. එම පෞරුෂත්වයේ ඇති මද බව අද යෞවනත්වය මුහුණ දෙන ගොඩක් ගැටලු වලට හේතුවක්. සිනමාව කියන්නෙත් එක්තරා ආකාරයක ඇබ්බැහි වීමක්. නමුත් සිනමාවේ අතිශයෝක්තියෙන් පෙන්වන ඇතැම් දර්ශන, සත්‍ය ජීවිතයේදී අපිට අත්හදා බැලීමට හිතෙන තරම් උත්තේජනයක් ලබා දෙන ඒවා වෙන්න පුළුවන්. එවැනි දර්ශන නැරඹීමෙන් මෙම මත් රකුසාට ගොදුරු වූ යෞවනයන් ගැන ඕනතරම් උදාහරණ අපේ සමාජය තුළම තියෙනවා.
මේ ලිපිය මගින් මත් ද්‍රව්‍ය භාවිතයේ අනිසි ප්‍රතිඵල ගැන කතා කරන්න මම පෙළඹෙන්නේ නෑ. ඒ පිළිබඳ ඕනෑවටත් වඩා දැනුම දිනපතා සමාජගත වෙන බව ඔබත් මමත් දන්නා කරුණක්. අප සොයා බැලිය යුත්තේ අනාගත ලෝකය බාරගැනීමට සිටින තරුණ පරපුර, මේ මත් ද්‍රව්‍ය උවදුරෙන් කොහොමද ගලවගන්නේ කියලා. හිරිමල් යෞවනය කියන්නෙ ඇත්තටම අපේ ජීවිත කාලේ ගතකරන හිතුවක්කාරම අවධියක් කියලයි මට හිතෙන්නේ. ඉතින් බොහෝ යෞවනයන් මේ කාලයේදී වැඩිහිටියන්ට සවන් දීමේ ප්‍රවණතාවය නම් ඉතා අඩුයි. ඒක නිසා ඔවුන්ව උපදෙස් ලබා දී යහමගට ගැනීම නම්, ටිකක් අපහසු කටයුත්තක්. මගෙ නම් අදහස එවැනි යෞවනයන් සමාජ පුනරුත්ථාපනයට බඳුන් කළ යුතුය යන්නයි. “සමාජ පුනරුත්ථාපනය” යනුවෙන් අදහස් කරන්නේ, යම් කිසි තරුණයෙක් හෝ තරුණියක් මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටිනවා නම්, ඔවුනට යෞවනයන් වශයෙන් අප විසින්ම එයින් ගැලවීමට උපකාර කළ යුතුය යන්නයි. මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු යෞවනයන්ගේ ජීවන රාමුව තුළ, ඔවුනට වඩාත් විශ්වාසදායක වනුයේ බොහෝ විට තවත් යෞවනයෙක්මයි. ඉතින් අප විසින්ම ඔවුනට ඔවුන්ගේ රාමුව තුළ දී හරි වැරදි කියා දී, ඔවුන්ව එයින් නිසැකවම මුදවා ගත හැකි බව මගේ අදහසයි.
පළමුව යෞවනයෙක් ලෙස තමාගේ යෞවනත්වය අපවිත්‍ර නොකරගැනීමට තරම් පෞරුෂත්වයක් අප විසින් ගොඩ නගා ගත යුතුය. එවිට අපට තවත් අකාලයේ වැනසීම සොයා යන්නෙකුට ආදර්ශයක් වී, ඔවුන්ව ඉන් ගලවාගන්නට උපකාර කරන්නට පුළුවනි. එවිට වත්මන් යොවුන් සමාජය මේ තිබෙනවාට වඩා ලස්සන වේවී. යෞවනයන් ලෙස අපි එකතු වෙමු; යෞවන චාරිකාවේ නිම්තෙර සොයා යමු.
සිනා මල් දැවී ගිනි අළු මතින් පිබිදෙන
ෆීනික්ස් කුරුල්ලෙකුගේ කඳුලු වල ඝනකමට
හැක තවත් ප්‍රාණයක් දළුලමින් මෝරන්න
නමුත් කඳුලකට බෑ ෆීනික්ස් විහඟෙකුට පණ දෙන්න
තවත් ගිනි පුපුරක් දියන්
ෆීනික්ස් විහඟෙකුට ඉපදෙන්න
By Rtr. හරිත් කුලතුංග
Image credits :
Leave a Reply