පුද්ගලයෙකු තම බුද්ධිමය හැකියාව භාවිත කර නිර්මාණය කරන ලද නව නිර්මාණයක් බුද්ධිමය දේපළක් ලෙස හැදින්වේ. වර්තමානයේ නිතර දෙවේලේ කතාබහට ලක්වන මාතෘකාවක් වන බුද්ධිමය දේපළ පිළිබඳව අපි විමසා බලමු. බුද්ධිමය දේපළ හා සම්බන්ධ ප්‍රසිද්ධම නීතියක් වන ප්‍රකාශන හිමිකම් නීතිය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලද්දේ 1979 අංක 51 බුද්ධිමය දේපළ නීති සංග්‍රහය පනත මගින්ය. බුද්ධිමය දේපළ යන වචන ද්විත්වයෙන් අදහස් කරන්නේ යම් කෙනෙකු සිය දක්ෂතා සහ ප්‍රතිභාව උපයෝගී කොට ගෙන නිර්මාණය කරන ලද යම්කිසි නිර්මාණයක් වේ.
මේවා සාහිත්‍යමය, කලාත්මක හෝ විද්‍යාත්මක ලෙස විවිධ විය හැකිය. බුද්ධිමය දේපළ යන සංකල්පය ගොඩ නැගෙන්නට පටන් ගත්තේ සාහිත්‍යමය සහ කලාත්මක කෘතිවල ආර්ථික වටිනාකම හඳුනා ගැනීමෙන් පසුවය. ප්‍රකාශන හිමිකම් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේදී කර්තෘවරයාගේ ජිවිත කාලය පුරා හා ඔහුගේ මරණයෙන් අවුරුදු 70ක් ගත වන තුරු ආරක්ෂා වේ.
ප්‍රකාශන හිමිකම් යටතේ ආරක්ෂණය සැලසෙන අයිතිවාසිකම් අතර ආර්ථික සහ සදාචාරාත්මක අයිතිවාසිකම් ප්‍රධාන තැනක් ගනියි. කිසියම් කෘතියක කර්තෘගේ අවසරය නොමැතිව කරනු ලබන කිසිදු වෙනස්කමක් වාණිජමය වශයෙන් භාවිත කළ නොහැකිය. බුද්ධිමය දේපළ හිමිකරුවකුට තමා කැමති පරිදි අදාළ දේපළ භාවිත කිරීමට පූර්ණ නිදහසක් තිබුණත් එය භාවිත කළ යුත්තේ සමාජයට හානියක් නොවන ලෙස ය. ප්‍රකාශන හිමිකම් නීති වලට අනුව කිසියම් සාහිත්‍යමය හෝ කලාත්මක කෘතියක් කර්තෘගේ අවසරය නොමැතිව තමාගේ ලෙස භාවිත කළ නොහැකිය. මුල් කෘතිය වෙනස් ආකාරයකින් මහජනයාට ඉදිරිපත් කිරීම, ප්රතිනිෂ්පාදනය කිරීම හෝ පරිවර්තනයක් හෝ අනුවර්තනයක් පිළියෙල කිරීම සදහා මුල් කර්තෘගේ අවසරය ලබාගත යුතුමය. මෙම නෛතික අයිතිවාසිකම් අතර ප්රතිනිෂ්පාදන අයිතිවාසිකම්, පටිගත කිරීමේ අයිතිවාසිකම්, රංගන අයිතිවාසිකම්, විකාශන අයිතිවාසිකම් සහ පරිවර්තන අයිතිවාසිකම් ඇතුළත් ය. ආර්ථික අයිතිවාසිකම් යනුවෙන් අදහස් කරන්නේ යම් කෘතියක් හා සම්බන්ධ ආර්ථික ප්රතිලාභ ලැබීමේ අයිතිය එම කෘතියේ කතෘට හිමිවන බව සහ වෙනත් කිසිවකු එම කෘතිය භාවිත කර ආර්ථිකමය වශයෙන් වාසියක් ලැබීමට අදහස් කරන්නේ නම් ඒ සදහා කර්තෘගේ අවසරය ලබා ගත යුතු බවයි. එසේ කරන අවස්ථාවලදී කෘතියේ මුල් කර්තෘ සහ ප්‍රති නිෂ්පාදකයා අතර ගිවිසුමක් ඇතිකර ගනු ලබයි. එහෙත් කලාතුරකින් විශේෂ අවස්ථාවලදී ප්රතිනිෂ්පාදන කටයුතු සදහා මුල් කෘතියේ කර්තෘ ගේ අවසරය ලබා ගැනීම අවශ්‍ය නොවන අවස්ථාද ඇත. එසේම යම් කෘතියක ආර්ථික අයිතිවාසිකම් පවත්නා කාල සීමාව ඉක්ම වූ පසු එවැනි අවසර ගැනීමක් අවශ්‍ය නොවේ.
ප්‍රකාශන භාවය නමින් තවත් අයිතිවාසිකමක් ඇත. මෙයින් අදහස් වන්නේ කෘතියේ ප්‍රකාශන අයිතියේ වැඩි හිමිකම ඇත්තේ එහි කතුවරයාට වන බව සහ කෘතියෙහි හිමිකම තවකෙකුට පැවරීමට දේශීය නීතිය යටතේ බලතල නොමැති බවත් එහෙත් යම් යම් සීමාවන්ට යටත්ව එම හිමිකම් පැවරීමට හැකියාව ඇති බවත්ය. මෙහිදී ප්‍රකාශන අයිතිවාසිකම් ක්‍රියාත්මක වන නිශ්චිත කාල සීමාවක් ඇත. අධ්‍යාපන සහ විවිධ පර්යේෂණ කටයුතු සදහා යම් යම් සීමාවන් යටතේ කෘතිවල කොටස් උපුටා ගැනීමට අවසර ලබා දී ඇත.
රංගන අයිතිවාසිකම් යනු තවත් අයිතිවාසිකමකි. මෙය අදාළ වන්නේ නාට්‍යමය සහ සංගීතමය කෘති වලට වන අතර එයින් අදහස් වන්නේ කෘතියේ ප්‍රකාශන හිමියාගේ අවසරය ලබාගෙන එය ප්‍රති නිෂ්පාදනය කර මහජනයාට ඉදිරිපත් කළ හැකි බවයි.
බර්න් සම්මුතිය නම් සම්මුතියක් ඇති අතර එයින් ගෙනහැර දක්වන්නේ කිසියම් සාහිත්‍යමය හෝ කලාත්මක කෘතියක කතුවරයා එම කෘතියේ ප්‍රකාශන හිමිකරුවා වන අතර එම කෘතිය ප්‍රසිද්ධියේ විකාශනය කිරීම සඳහා බලය ලබා දීමේ අයිතිය ඔහුට හිමි බවයි.
සදාචාර අයිතිවාසිකම් ලෙස තවත් ප්‍රකාශන හිමිකම් වර්ගයක් පවතී. මින් අදහස් වන්නේ තම කෘතිය සම්බන්ධව විවේචනයක් හෝ අවඥා සහගත ක්‍රියාවක් කර තම ගෞරවයට හානිකර සිදුවීමක් වන අවස්ථාවක ඊට විරෝධය පෑමට ප්‍රකාශන හිමිකරුට අයිතිය තිබෙන බවයි. මෙම සදාචාර අයිතිවාසිකම් ආර්ථික අයිතිවාසිකම් වලට ස්වාධීනව ක්‍රියාත්මක වන අතර ආර්ථික අයිතිවාසිකම් මෙන් නොව සදාචාර අයිතිවාසිකම් අන් අයකුට පැවරිය නොහැකිය.
ප්‍රකාශන හිමිකම් කර්තෘන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතර ශාස්ත්‍රීය හා කලාත්මක ක්ෂේත්රවල ආයෝජනය ප්‍රවර්ධනය කරයි. එබැවින් එම ප්‍රකාශන අයිතීන් සුරැකීම අප සැමගේ වගකීමක් බව තරයේ සිහි තබා ගනිමු.
By Rtr. Dulari Udeshika
Image Credits:
References:
- Hansani. (n.d.-b). ප්‍රකාශන අයිතිය. https://tinyurl.com/mrjf7x6c
Leave a Reply