
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වය, බුද්ධ පරිනිර්වාණය යන උත්තම තෙමඟුල සැමරෙන වෙසඟේ, මේ වෑයම මෙරට බෞද්ධයින් ආමිස සහ ප්‍රතිපත්ති පූජා ඇසුරෙන් වෙසක් උත්සවය සමරන ආකාරය සහ විවිධ බෞද්ධ රටවල එම සංස්කෘතීන්ට අනුව වෙසක් සැමරුම්වල විවිධත්වය සොයා යමින් ඔබේ බෞද්ධ දැනුම් පොතට යමක් එක් කරන්නට යි.
වෙසක් දිනයේ සියලු සැදැහවත් බෞද්ධයින් හිමිදිරි උදෑසන ඔවුන්ගේ විහාරස්ථාන වෙත පැමිණ බෞද්ධ කොඩි ඔසවා බුදුන්, දහම් සඟුන් ගුණ ගායනා කිරිම් සිදු කරයි. බැතිමතුන් මල්, හඳුන් කූරු, ඉටිපන්දම් යනාදිය බුදු පුදට රැගෙන යයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසක් සැමරුම් කාලය තුළදී සියලු මත් පැන් අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, මස් වෙළඳ සැල් වසා තැබේ. කූඩු වල සිර කර ගෙන සිටින කරුල්ලන් සහ වෙනත් සතුන් හරිනු ලබයි. බැතිමත්හු බෞද්ධ ඉගැන්වීම් වලට අනුව අටසිල් සමාදන්ව ධාර්මිකව කල් ගත කිරීමට කැප වෙති. ඇතැම් විහාරස්ථානවල බුදුරුවක්, පූජාසනය ඉදිරියෙහි තැබු වතුර බේසමක් මත තබා බැතිමතුන්ට එම ප්‍රතිමාව වැසෙන සේ ජලය පිරවීමට ඉඩ දෙනු ලැබේ. මෙය බුදුන්ගේ උපතින් පසු දෙවියන් පැමිණ දිව්‍යයමය පූජෝපහාර පැවැත්වීම සංකේතවත් කරන්නකි.

ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය ප්‍රදාන ආගමික හා සංස්කෟතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. මෙය සතියක පමණ කාලයකි. මෙම සැමරුමට දානමය කටයුතු හා ආගමික කටයුතු බොහොමයක් ඇතුළත් වේ. විදුලි ආලෝකයෙන් ප්රභාවත් තොරණ් කොළඹ හා අවට ප්‍රදේශවල ඉදි කෙරෙයි. මේවාට අනුග්‍රහය දක්වන්නේ දානපතියන්, ආගමික සංවිධාන සහ සුභ සාධන සමිති විසිනි. සෑම තොරණකටම පන්සිය පනස් ජාතක කථා වල කථා වස්තු පාදක වේ. මීට අමතරව නිවෙස් ඉදිරිපිට හා පාර දෙපස වෙසක් පහන් එල්ලා තැබේ. ඒවායින් බුද්ධ, ධම්ම සහ සංඝ යන උතුම් තෙරුවන් ආලෝකය සංකේතවත් වේ. දානපතියන් විසින් නොමිලේ ආහාර පාන සපයන දන්සැල් පිහිටවනු ලැබේ.

ලොව වටා වෙසක්
බෞද්ධ ලෝකයේ මෙම කාලයේදී උත්සව පැවැත්වීම සියවස් ගණනාවක් පැරණි සම්ප්‍රදායයකි. බුද්ධාගම ඉන්දියාවෙන් පිටස්තර ලෝකයට ව්‍යප්ත වුවද ඒ ඒ රටවල් වල සංස්කෘතින් සමග බද්ධ විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස වෙසක් උත්සවය ලෝකයේ විවිධ රටවල් විවිධාකාරයෙන් සමරනු ලැබේ.
මහායාන බෞද්ධ සම්ප්රදායයන් තුළ එම දිනය “වෙසක්” යන්නට සමාන සංස්කෘත වචනයක් වූ “වෛශාඛ” යනුවෙන් හැඳින්වේ. “වෙසක්” යන වචනය ද පාලි “විසාඛ” (Visakha) යන වචනයේම සිංහල ස්වරූපය යි. හින්දු චන්ද්‍ර දින දර්ශණයේ දෙවැනි මාසය හැඳින්වෙන්නේ “වෛශාඛ” යනුවෙනි. වෙසක් යන්න හැඳින්වෙන තවත් නම් රාශියකි. ඒවා විශාකා පූජා, බුද්ධ පූර්නිම නැතහොත් බුද්ධ ජයන්ති යනුවෙන් ඉන්දියාවේ, බංගලාදේශයේ සහ නේපාලයේ හැඳින්වෙන අතර තායිලන්තයේ විසාඛ බුචා යනුවෙන්ද වියට්නාමයේ ඵට් ඩාන් (Phat Dan) යනුවෙන්ද හැඳින්වේ. ඉන්දුනීසියාවේ වෛශාඛ්, ශ්‍රී ලංකාවේ සහ මැලේසියාවේ වෙසක් යනුවෙනි. චීන භාෂාව කථා කරන රටවල ෆො ඩාන් (Fo dan) ටිබෙට් හි “සගා ඩාවා” ද වශයෙනි. මේ හා සමාන උත්සවයක් ලාඕස් හි වික්ශාඛා බුක්ෂා (Vixakha bouxa) නමින් පැවැත්වේ. මියන්මාරයේ එය ක – සොනෙ – ලා – ප්යාඒ (Ka – sone – la – pyae තේරුම කසොනෙ පසළොස්වක යන්නයි) යනුවෙන් නම් කොට ඇත. “කසානෙ” යනු ද මියන්මාර් දින දර්ශනයේ දෙවැනි මාසයයි. ශ්‍රී ලංකාව, මැලේසියාව, මියැන්මාරය, තායිලන්තය, සිංගප්පුරුව, වියට්නාමය, ඉන්දුනිසියාව, හොංකොං සහ තායිවානය වැනි බොහෝ ආසියානු රටවල් වල වෙසක් දිනය නිවාඩු දිනයක් බවට පත් කර ඇත.

විවිධ සාම්ප්රදායයන් තුළ භාවිතා වන චන්ද්‍ර මාසානූකූල දින දර්ශනයට අනුව නියම වෙසක් දිනය එකිනෙකට වෙනස් වේ. බෞද්ධ දින දර්ශනය අනුගමනය කරන ථේරවාදි බෞද්ධ රටවල එය නියම වන්නේ පසළොස්වක පොහොය දිනයට යි. (සිරිතක් වශයෙන් පස් වැනි හෝ හය වැනි චන්ද්‍ර මාසය) චීනයේ එය යෙදෙන්නේ චීන චන්ද්‍ර දින දර්ශනයේ හතර වැනි මාසයේ පළමු පසළොස්වක දිනයට යි. බටහිර ග්‍රෙගරියන් දින දර්ශනයට අනුව එම දිනය වසරින් වසර වෙනස් වන නමුත් සාමාන්‍යයෙන් අප්‍රේල් හෝ මැයි මාසයට යෙදේ.
විවිධ රටවල සැමරුම් විධි කෙතරම් එකිනෙකට වෙනස් වුවද ලොවපුරා බෞද්ධ හදවත් වල තෙමඟුල වෙනුවෙන් ඇත්තේ එකම බොදු බැතියකි. බෞද්ධයන් වන අපගේ කොඳු නාරටිය වන්නේ අප හා බැඳි මෙම බෞද්ධ සංස්කෘතිය යි.බුදුන් දෙසූ මග යමින් අපේ ජීවිත හැඩගස්වා ගැනීමට මේ වෙසඟේ අපි අදිටන් කර ගනිමු.
ඔබ සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!
By Rtr. කෝකිලා සනෝජී
Image credits :
Leave a Reply