
“මේ ලෝකේ ලස්සනම කෙනා මම ද?”
“මට වඩා එයා ලස්සන ද?”
“මම කැත ද?”
මේ ප්‍රශ්න තරුණ අපි, කැඩපතෙන් ඕනෑ තරම් අසා ඇති. ඒ අපි අපේ රූපය ගැන, විලාසිතා ගැන ගොඩක් හිතන නිසා. තුරුණු වයසේදී ඒක බොහෝම සාමාන්‍ය කරුණක්. හැබැයි ඔබ කවදාවත් හිතුවා ද කැඩපත නොහඳුනන ඔබේ රුව ගැන ?
මේ කතාව ඒ ගැන යි.
අප එදිනෙදා ජීවිතයේ කරනකියන සෑම දෙයක් ම විලාසිතාවක් කිවහොත් ඔබ පුදුම වනු නොඅනුමාන ය. “විලාසිතා” යන වචනය ඇසුණු සැණින් අපගේ මතකයට නැගෙන්නේ ඇඳුම්පැළඳුම්, ආභරණ, වේශ නිරූපණය වැනි අංග කිහිපයකි .නමුත් අපගේ හැසිරීම් විලාසය, නොඑසේ නම් අපගේ ජීවන රටාවම විලාසිතාවකි.මේ ඇඳුම්පැළඳුම්, ආභරණ මගින් කෙරෙනුයේ එය වඩාත් තීව්ර කර පෙන්වීමකි.
ඇඳුම්පැළඳුම්, කේෂාලංකරනයන්(Hair styles), tattoos ආදිය රැල්ලක් ලෙස සමාජය වෙළා ගන්නා අයුරු ඔබ දැක ඇති. මෙලෙස ඇරඹෙන විලාසිතාවන් සමාජගත කිරීමේ පෙර ගමන් කරුවන් වන්නේ තාරුණ්‍යය යි.මෙහිදී සමාජ මාධ්‍ය ජාල, රූපවාහිනී මාධ්‍ය මගින් තරුණ පරපුරට විලාසිතා අනුගමනය කිරීමෙහි ලා ඇති කරන පෙළඹවීම ඉතා ප්‍රබල ය.
වත්මන් තරුණ පරපුර විලාසිතා සවිඥානිකව භාවිත කරනවා ද? විලාසිතාකරණයේ දී තාරුණ්‍යයට පවතින සීමාවන් මොනවාද? අපි ඒ ගැන කතා කරමු.

සරලව ම විලාසිතා යනු කෙනෙකුගේ පෞරුෂය පිළිබඳ බොහෝ දේ ගෙනහැර දක්වන මිනුම් දණ්ඩකි. විලාසිතා කර්මාන්තය ජීවිතයේ සෑම තරාතිරමකම පුද්ගලයන්ට, විශේෂයෙන්ම තාරුණ්‍යයට වැදගත් මෙන්ම ආශ්වාදජනක අංගයකි. නවතම විලාසිතා අනුගමනය කිරීම හා ලබාගන්නා ආකර්ෂණය පිළිබඳව ගැටලුවක් සමාජය තුළ නොපවතී. නමුත්, එම විලාසිතාකරණය පුද්ගලනුබද්ධව කෙතරම් උචිත ද යන්න පිළිබද ව සමාජය තුළ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. තාරුණ්‍යයේ පසුවන්නෙකු ඉගෙනීමට හෝ වෙනත් අත්‍යවශ්‍ය කටයුත්තක් සදහා යෙදවීමට ඇති කාලය හා ධනය, ඇඳුම්පැළඳුම් හා අනෙකුත් විලාසිතා සඳහා පමණට වඩා වැයකරන්නේ නම්, එය ඔහුගේ හෝ ඇයගේ අනාගතය පිළිබඳ පැහැදිලි අනතුරු සංඥාවකි. එබැවින් විලාසිතා සමග තම කාලය ධනය සමබරව පවත්වා ගැනීමට වත්මන් තරුණ පරපුර සවිඥානික විය යුතුම ය .
විලාසිතාවන් සුළඟ සේ ඉතා වේගයෙන් කාලනුරූපිව වෙනස් වේ. බොහෝ විට විලාසිතා යන්න තුළ පුද්ගල සුව පහසුව අරුත් ගැන්වෙයි. නමුත් කෙනෙක් සුවපහසුව පිළිබඳ අවධානය යොමු කර, විවහා උත්සවයක් සඳහා ක්‍රීඩා ඇඳුම්පැළඳුම් වලින් සැරසී සහභාගි වුවහොත් එය හාස්‍යජනක සිදුවීමක් වනු ඇත. එබැවින්, විලාසිතාකරණය අවස්ථානුරූපිව, කාලනුරූපිව හා පුද්ගලනුබද්ධව විචාරශීලි බුද්ධියෙන් අනුගමනය කළ යුත්තකි. තවද විලාසිතා, පවතින සිරිත්විරිත් හා සමාජ නීතිරීති වලට අනුකූලව යොදා ගැනීමට තරුණ පරපුර විනයගරුක විය යුතු ය. එම සමාජ නීතිරීති වලින් විලාසිතාකරණයට හානියක් නැති නමුත්, ඉන් විලාසිතාකරණයේ සීමාවන් තාරුණ්‍යයට පෙන්වා දෙයි.
තරුණ පරපුර විලාසිතාකරණයට පෙළඹීමේ ප්‍රධාන හේතුවක් වන්නේ ඉන් ඔවුන්ට අනන්‍යතාවයක්, කැපී පෙනීමක් සහ ඔවුන්ගේ පෞරුෂය විදහා දක්වන බැවිනි. උදාහරණයක් ලෙස, කෙනෙකු හිප්-හොප්(hip-hop) විලාසිතාවකින් සැරසී සිටියහොත් අපට ඔහු පිළිබඳ නැගෙන්නේ සංගීතයට ලැදි, විනෝදකාමී චරිත ස්වභාවයකි. එලෙස සමාජය විසින් පුද්ගලයා මනින මිනුම් දණ්ඩක් බවට විලාසිතා යොදාගෙන ඇත්තේ ය. එබැවින් තමන් පිළිබඳව නිවැරදි අර්ථකථනයක් සමාජයට ලබාදීමට උචිත විලාසිතා අනුගමනය කිරීමෙනි වගකීම පුද්ගලයා සතුවේ. විලාසිතාකරණය පුද්ගලයාගේ නිදහස් චින්තන හැකියාව ඔප් නංවන මෙවලමකි. එය පුද්ගල ආත්ම විශ්වාසයේ සංකේතයකි. එමෙන්ම විලාසිතාකරණය, සමාන රුචිකත්වයන් සහිත පුද්ගලයන් හා සම්බන්ධ වීමට වක්‍රාකාරයෙන් උපකාරී වෙයි.
කෙසේ නමුත්, කලින් කලට එන විලාසිතා තරුණ මනස දූෂණයට ලක්වන බව සමාජ මතයකි. ඊට ප්‍රධානම සාධකය වන්නේ විලාසිතාකරණය පිළිබඳ සමාජය තුළ ඇති අනවබෝධය යි. ප්‍රයෝජනවත් කාලය, ධනය උන්මාදයෙන් යුතුව විලාසිතා සඳහා යොමු කරවන්නෝ ද සමාජය තුළ බහුල වෙති. විටෙක නොගැළපෙන විලාසිතා කිරීමට ගොස් පුද්ගලයන් අපහසුතාවට පත්වන අවස්ථාවන් ඕනෑ තරම් අප දැක ඇත. එමෙන්ම හිස කෙස් වර්ණක සමෙහි ගල්වන ආලේප වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු රූපලාවන්‍ය නිෂ්පාදන කෙරෙහි යොමු වීම ද විලාසිතාකරණයෙහි අඳුරු පැතිකඩකි. ඉන් සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම පිළිබඳ තරුණ ප්‍රජාව කෙතරම් දැනුම්වත් ද යන්න ප්‍රශ්නාර්ථයකි.

ඔබ විලාසිතාවට උමතු වනවාට වඩා එය වඩාත් ගැළපෙන අයුරින් අනුගමනය කිරීමට හැකි නම්, එය පුද්ගලයෙකු ලෙස අතිශයින්ම වැදගත් ය. එබැවින් තමන්ගේ වපසරිය හා සීමාවන් හඳුනාගෙන විලාසිතාකරණයට යොමු වීමට තාරුණ්‍යය උත්සුක විය යුතුම ය .මන්දයත් විලාසිතා යනු ඔබ කවුරුන්ද යන්න පිලිබිඹු කරන කැඩපතක් බැවිනි.
By Rtr. සචිනි රණසිංහ
Image credits :
Leave a Reply