“නත්තල” මේ වචනේ ඇහුණ ගමන් ඔබේ මතකයට නැගෙන්නේ කුමක්ද? මා මතකයට නැගෙන දෑ මා මෙලෙස අකුරු කරන්නම්.ලස්සන හිම තුහින,කැරොල් ගීත,නත්තල් සීයා,ජේසු උතුමාණන්,පිනි මුවෝ මේ සා කී නොකී ලස්සන ලස්සන ගොඩාක් දේවල් මගෙ මතකයට නැගෙනවා.
සීතල දෙසැම්බරයේ ලස්සනම දවසක් තමා නත්තල කියන්නේ.ලොකු කුඩා අපි කවුරුත් ආස කරන ක්‍රිස්තියානි බැතිමතුන්ට සුවිශේෂී වන දවසක් තමා මේ නත්තල.

නත්තල හෙවත් නත්තල් දිනය නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සමරන දිනය වේ. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ. සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්‍රිය චරිතයකි. ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් හා ක්‍රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි.
නත්තල් යන්නෙහි තේරුම, “ක්‍රිස්තුස්ගේ මංගල්‍ය දිනය” යන්නයි. විශේෂයෙන්ම කිතුණු බැතිමතුන්ට ආවේණික මෙන්ම සුවිශේෂී වූ නත්තල් දිනය සියලු ලෝකවාසී ජනතාවටම සැණකෙළි සමයක් ඉස්මතු කිරීමට මෙන්ම ඉතා සතුටින් සාමයෙන් උත්සවශ්‍රීයෙන් ගත කළ හැකි දිනයක් බවට පත්ව ඇත. ඒ මන්ද යත්, දෙසැම්බර් මාසය කියන සැණෙකින්, බාල මහලු කොයි කාටත් සිහිගැන්වෙන්නේ නත්තල නිසාවෙනි. ඒ හැරුණු කොට නත්තල් දිනය මෙතරම්ම සුවිශේෂ වන්නට හේතුව ඔබ අප කවුරුත් දන්නා ආකාරයට කිතුණු බැතිමතුන්ගේ ශාස්තෘන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිදු වී ඇත්තේ මෙවන් දිනයක බැවිනි. එසේම මෙම උත්පත්තිය සිදුව ඇත්තේ බෙත්ලෙහෙමේ ය. මරිය තුමිය හා ජුසේතුමාට දාව ඉපිදුණු උන්වහන්සේ ලෝකවාසී ජනයාගේ ගැලවුම්කරු ලෙසින් දෙව්ලොවින් එවන ලද දේවදූතයෙක් ලෙස ද අදහන ලදී.

මෙසායා නැතහොත් තෝරාගත් තැනැත්තා යන නමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ මරිය තුමිය නැමැති කන්‍යාවගෙන් උපත ලැබූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි. මෙම අසිරිමත් නත්තල් කතාව ලූක් සහ මතෙව් යන බයිබල් කතුවරුන්ගේ අනුශාසනා මත බිහි වූවකි. ජේසුස් වහන්සේ හෙවත් ක්‍රිස්තුන් වහන්සේ බෙත්ලෙහෙම් නුවර දී මරිය තුමියට සහ තම සුරැකි පියා වන ජුසේ තුමාට ඉපදුණු බව මෙම අනුශාසනා වල කියැවේ. ප්‍රසිද්ධ සම්ප්‍රදායට අනුව මෙම උපත ගවලෙනක දී (stable) සිදුවූ බව කියැවෙන නමුත් බයිබල් අනුශාසනා වලට අනුව එය ගව ඔරුවක දී (manger) සිදුවී ඇත. ආදිකාලීන ප්‍රතිමා ශිල්පයට අනුව මෙම ගවලෙන සහ ගව ඔරුව එකම ගුහාවක පිහිටා ඇත. (එය අදටත් බෙත්ලෙහෙම් නුවර දේවස්ථානයට පහළින් පිහිටා තිබේ). දේවදූතයකු විසින් මෙම ගවලෙන අසල සිටි එඬේරුන්හට ජේසුස් වහන්සේගේ උපත ගැන පවසා තිබේ. දේවදූතයන් විසින් එඩේරුන්ට දෙන ලද සලකුණ වූයේ ගව ඔරුවක බාවා සිටින බිළිදෙක් වේ. ඉන්පසු ඔවුන් බිළිදු ජේසු තුමන් බැහැදැකුමට ගොස් ඇති අතර එතුමන් දුටු පළමු කණ්ඩායම ද වෙති. ජේසුස් වහන්සේගේ උපත තුළින්, එතුමාගේ උපතට වසර ගණනාවකට පෙර තිබූ අනාවැකි සම්පූර්ණ වී ඇති බව ක්‍රිස්තු භක්තිකයෝ විශ්වාස කරති.

සිහිපත් කිරීම, කිතුනු බැතිමතුන් නත්තල සමරන ප්‍රධාන මාර්ගයකි. ක්‍රිස්තියානි සභාව ජේසු තුමන්ගේ උපන් දිනය උදා වන තුරු, සූදානම් වීමේ කාලය තුල, විවිධ ආගමික කටයුතු වල නිරත වේ. කුඩා ළමුන් මෙන්ම වැඩිහිටි කිතුනු ජනතාව ද ක්‍රිස්තු තුමන්ගේ උපත සිහිපත් කෙරෙන නාට්‍ය රඟ දැක්වීමේ සහ නත්තල් ගීත ( Christmas Carols) ගායනා කිරීමේ කටයුතු වල නිරත වෙති. සමහර නිවෙස් වල ජේසු තුමන් ඉපදුණු ගවලෙන සහ අදාල චරිත කලාත්මක ප්රතිරූප වලින් නිරූපණය කෙරෙයි. මෙම ප්රතිරූප අතරින් ජේසු තුමන් බැලීමට පැමිණි රජ තුන් කට්ටුව වැදගත් වේ. ඔවුන් බෙත්ලෙහෙමේ තරුව නමින් හැඳින්වෙන තාරකාව පසුපස පැමිණ, ජේසු තුමන් වෙත රත්තරන්, සුවඳ ලාටු සහ සුවඳ දුම් පුද කර ඇත.
නත්තල් උත්සව දිනයේ දී පවුලේ සාමාජිකයින් අතර සහ යහළුවන් අතර තෑගි හුවමාරු කර ගැනීමේ කටයුතු සිදු වේ. මෙම නත්තල් සිරිත බටහිර සංස්කෘතියෙන් පැවත එන අතර එය නත්තල් සීයා (නත්තලේ පියා, සාන්ත නිකලස්, සින්ටක්ලාස්, ක්‍රිස් ක්‍රින්ගල්, පියේර් නොයෙල්, බැබෝ නටාලේ, සාන්ත බැසිල්, ෆාදර් ෆ්රොස්ට් යන විවිධ නම් වලින් හැදින්වෙන) නමැති චරිතයට ආරෝපිත කර ඇත. නත්තල් සීයාගේ ප්‍රතිමූර්තිය නිර්මාණය කර ඇත්තේ ජර්මන්-ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පී තෝමස් නාස්ට් (1840-1902) විසිනි. ඔහු 1863 පටන් සෑම වසරකදී ම නත්තල් සීයාගේ නව ප්‍රතිරූපයක් නිර්මාණය කර ඇති අතර, 1880 දශකයේ දී අප අද හඳුනන ප්‍රතිරූපය නිම කර ඇත. මෙම රූපය 1920 දී ප්රචාරකයින් විසින් ප්‍රමාණ කර තිබේ. නත්තල් සීයාට පෙර පැවති චරිතය, එනම් නත්තලේ පියා, 15 වන සියවසේදී වාර්තා වී ඇති නමුත්, එම චරිතය සිනහ උපදවන සහ බීමත්කම සමඟ සම්බන්ධ වී ඇත. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ කාල වකවානුවේ දී එම චරිතය වර්තමාන නත්තල් සීයාගේ චරිතයට පරිවර්තනය කර ඇත. ප්‍රංශ ජාතික පියේර් නොයෙල් ගේ චරිතය ද මෙලෙස පරිණාමනය වී ඇත. ඉතාලියේ දී බැබෝ නටාලේ නම් තැනැත්තා නත්තල් සීයා ලෙස පෙනී සිට ඇති අතර, ලා බෙෆානා නම් කාන්තාව (ඉතාලි ජනප්රවාදයේ පැවත එන චරිතයකි) ආවීර්භාවයේ සන්ධ්‍යා කාලයේ දී තෑගි ගෙන තිබේ. ඇය ජේසු බිළිඳා වෙත තෑගී ගෙනෙන අතරේ දී අතරමං වූ බව කියැවේ. දැන් ඇය සෑම දරුවෙකුට ම තෑගි ගෙන එන බවට විශ්වාස කෙරේ. විවිධ සංස්කෘතීන් වල නත්තල් සීයාගේ සහායකයන් ලෙස මිට්ටන් හඳුන්වා ඇති අතර ඔවුන් විසින් තෑගි සාදනු ලබන බව පැවසේ.
ඇතැම් ලතින් ඇමරිකානු රටවල් වල පවතින සංස්කෘතියට අනුව, නත්තල් සීයා තෑගී සාදා ජේසු බිළිඳා හට බාර දෙන අතර, ජේසු බිළිඳා එම තෑගී දරුවන් අතර බෙදා හරින බව කියැවේ. මෙම කතාව සම්ප්‍රදායානුකූල ආගමික විශ්වාස සහ වර්තමාන ගෝලීයකරණයේ සංසන්දනයක් ලෙස සැලකේ.
නත්තල් සීයා ලෙස බොහෝ දෙනා හඳුන්වන්නේ 14 වන සියවසේ ටර්කි හි ජීවත් වූ නිකලස් නම් පුද්ගලයෙක් වේ.( පසුකාලයේදී මොහු ශුද්ධවරයට ඔසවන ලදි. ඉන්පසු මොහුව හදුන්වන ලද්දේ සාන්ත නිකලස් නමිනි). මොහු නත්තල් කාලයේදී තමාගේ පෞද්ගලික මුදල් වියදම් කර තෑගි බෝග ගෙන අසරණ දුගී දුප්පත් පවුල් වල සිටින ළමයින්ට බෙදා හරියි. ඔහු මෙය සිදුකළේ රහසිගතවය. එනම් රාත්‍රී කාලයේදී එම නිවෙස්වල දුම් කවුළුවලින් රහසින්ම නිවස වෙත ගොස් තෑගි බෝග තබා යාමයි. නත්තල් සීයා යන සංකල්පයේ මූලාරම්භය මෙයයි.

නත්තල් ගස බොහෝ ලෙස හඳුන්වනු ලබන්නේ මිථ්‍යාදෘෂ්ටික සම්ප්රදායේ සහ සදාහරිත අතු හා ගස් වන්දනා යාගයක ක්‍රිස්තියානිකරණයක් ලෙස ය. 18 වන සියවසේ දී ජර්මනියේ දී වර්තමාන නත්තල් ගසේ සම්ප්රදාය ආරම්භ වී ඇති බවට විශ්වාස කෙරේ. නමුත් 16 වන සියවසේ දී එය මාර්ටින් ලූතර් ආරම්භ කළ බවට සමහරු තර්ක කරති. ජර්මනියේ සිට මෙම චාරිත්‍රය එංගලන්තයට ප්‍රථමයෙන් හඳුන්වා දෙන ලද්දේ එකල විසූ චාලට් රැජිණ විසිනි. ඉන්පසු වික්ටෝරියා රැජිණගේ කාල වකවානුවේ දී ඇල්බට් කුමරු විසින් එය තව දුරටත් සාර්ථකව හඳුන්වා දෙන ලදී. එම කාලයේදී ම ජර්මානු සංක්‍රමිකයින් විසින් එම සම්ප්රදාය ඇමරිකා එක්සත් ජනපදයට ද හඳුන්වා දී ඇත. නත්තල් ගස්, විදුලි බුබුළු සහ විසිතුරු සැරසිලි වලින් අලංකාර කරනු ලැබේ. 19 වන සියවසේ සිට පොයින්සෙටියා (poinsettia) නැමති ශාක වර්ගය නත්තල සමග සම්බන්ධ වී ඇත. හොලී (holly), මිසල්ටෝ (mistletoe), රතු ඇමාරිලිස් (red amaryllis) සහ නත්තල් පතොක් (Christmas Cactus) මෙම උත්සව සමයේ දී විශේෂිත අනෙකුත් ශාක වර්ග වේ. නත්තල් ගස සමග ගේ දොර ද, මෙම ශාක වර්ග වලින් සැරසිය හැක. තව ද මල් වඩම් සහ සදාහරිත ශාක අතු ද මේ සඳහා භාවිතා කළ හැක.

ඕස්ට්‍රේලියාව, උතුරු සහ දකුණු ඇමරිකාව සහ යුරෝපයේ සමහර ස්ථාන වල නිවෙස් ඉදිරිපිට විදුලි බුබුළු සහ වෙනත් නත්තල් සැරසිලි වලින් අලංකාර කිරීම සම්ප්රදායකි. මෙම රටවල් වල නගර සභා සමහර අවස්ථා වලදී මේ සඳහා තම අනුග්‍රහය ද ලබා දෙයි. බටහිර ලෝකයේ දී තෑගි එතීම සඳහා ආගමික නත්තල් තේමා වලින් සහ විවිධ වර්ණයන්ගෙන් යුත් කඩදාසි නිපදවනු ලැබේ. නත්තල් ගම්මාන (Christmas Villages) සාදා ප්‍රදර්ශනය කිරීම බොහෝ නිවෙස් වල සිරිතකි. සීනු, ඉටිපන්දම්, සීනි කූරු (candy canes), දිගු මේස් (stockings), මල් වඩම් සහ දේවදූතයින් තවත් නත්තල් සැරසිලි කිහිපයකි. මෙම සැරසිලි ඉවත් කෙරෙනු ලබන්නේ නත්තල් දිනයෙන් පසු දොළොස්වන රාත්‍රියේ දී හෙවත් ජනවාරි 5 වන දිනයේ දී ය.
ඉතින් ගෝලිය වසංගතයකට මුළු ලෝකයක් මුහුණ දෙන මේ වෙලාවේ උදා වුණ මේ නත්තල ලෝ වාසී සැමට සාමය සතුට පිරුණු සුභ නත්තලක් වේවා යැයි පතමින් මා නවතින්නම්.
By Rtr. කෝකිලා සනෝජී
Image credits :

Leave a Reply