නේකවිධ කලාවන්ගෙන් පිරිපුන් දිවයිනක් ලෙස ප්‍රසිද්ධිය උසුලන ශ්‍රී ලංකාවේ තවත් එක් සුවිශේෂී කලා අංගයක් ලෙස වෙස් මුහුණු කලාව අපට හැඳින්විය හැකියි.මෙම වෙස් මුහුණු කලවේ ඉතිහාසය 15 වන සියවස තරම් ඈතකට දිවයයි.ශ්‍රී ලංකාවේ මුතුන් මිත්තන් ලෙස හැඳින්වෙන වැදි ජනතාව ද පූජා කර්ම සඳහා ඔවුන්ගේ මුහුණු ,ශරීරය වර්ණ ගන්වා ගෙන ඇති අතර, එය වෙස් මුහුණු කලාවේ මූල බීජය ලෙස සැලකේ.
ලාංකීය වෙස් මුහුණු කලාව ගැන සලකා බැලීමේදී දකුණු පළාතේ අම්බලන්ගොඩ නගරය ඊට වඩාත් ප්‍රසිද්ධියක් උසුලයි .දීප්තිමත් වර්ණ රටා යොදා ගෙන නිම කොට තිබෙන මේ වෙස් මුහුණු දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් ව තිබේ.එමගින් වෙස් මුහුණු කලාව යනු සංස්කෘතික වටිනාකමක් මෙන්ම ආර්ථිකමය වටිනාකමක් ද රැගත් සංස්කෘතිකාංගයක් බව පැහැදිලිය.බොහෝ විට මෙම වෙස් මුහුණු යොදා ගෙන ඇත්තේ අදෘශ්‍යමාන බලවේග හා දෙවියන් පිදීමටත්,ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම සදහා කරනු ලබන ශාන්ති කර්ම වලදී ත් ය.මේ අනුව වෙස් මුහුණු වල භාවිතයන් අනුව ආකාර කිහිපයකට වර්ග කර දැක්විය හැකිය.එනම්,
1. ආගමික 2. අධ්‍යාත්මික 3. ලෞකික 4. භූත 5. චාරිත්‍ර හා වාරිත්‍ර
ඉහත කාණ්ඩ අතුරින් ආගමික හා අධ්‍යාත්මික කාණ්ඩ ඇදහිලි, රෝග නිවාරණය ගණයේ වෙස් මුහුණු හා සම්බන්ධ වන අතර ලෞකික කාණ්ඩයෙන් දඩයම් කිරීම,කෘෂිකාර්මික ආදී කාර්යයන් වලට සම්බන්ධ වෙස් මුහුණු නිරූපණය කරයි.භූතවාදී කාණ්ඩයට ඇතුළත් වන්නේ, තොවිල් සන්නි මඩු ශාන්ති කර්ම ආදිය සඳහා භාවිත කරන වෙස් මුහුණු වේ.මෙහි චාරිත්‍ර හා වාරිත්‍ර කාණ්ඩය මගින් පිලිබිඹු කරන්නේ මංගල අවමංගල කාර්යයනහී දී අතීතයේ භාවිත කළ වෙස් මුහුණු ය.වර්තමානය වන විට ඉහත වර්ගීකරණයන් මිශ්‍ර වීමට නැඹුරු වූ අවස්ථාවන් ද දැකගත හැකිය.
වෙස් මුහුණු වල සංකේතාත්මක අර්ථය
ශ්‍රී ලාංකේය වෙස් මුහුණු අධ්‍යයනය කිරීමේදී පෙනී යන ලක්ෂණයක් වන්නේ ඒවා අධි යථාර්ථවාදී ලෙස නිර්මාණය කර තිබීමයි.විශාල ඇස්,පුළුල් සිනහව හා වර්ණ මිශ්රණයන් ඒ අතුරින් ප්රමුඛත්වයක් ගනී.වෙස් මුහුණු වල වර්ණයෙන් නිරූපණය කරන්නේ යක්ෂයාගේ වර්ණය බව පැරන්නන්ගේ මතයයි.බොහෝ විට වෙස් මුහුණු එකම ආකාරයේ පෙනුමක් ගන්නා අතර ඒවා දිගු,පටු සහ තියුණු අයුරින් සකසයි. වෙස් මුහුණු ඉරියව් වලට ඇත්තේ ඊටම ආවේණික වූ ශෛලයකි.සමහර වෙස් මුහුණු වලට ඇත්තේ බිය උපදවන සුලු පෙනුමක් වන අතර ඇතැමෙක් ගෙනහැර දක්වන්නේ කවට හා විහිලු දනවන පෙනුමකි.මෙම හැගීම් වෙස් මුහුණ තුළින් මතු කිරීමට ඉවහල් වන්නේ කැටයම් ශිල්පීන්ගේ දක්ෂතාවය බව කිව යුතුමය.
වෙස් මුහුණු වල ඉතිහාසය සහ සංවර්ධනය
ශ්‍රී ලාංකීය වෙස් මුහුණු කලාව චාරිත්‍ර හා වාරිත්‍රමය,නර්තන හා සංදර්ශනමය සහ උත්සව අවස්ථාව යනුවෙන් මූලික සන්දර්භ 3ක පවතී. මින් චාරිත්‍ර හා වාරිත්‍ර අංගයනට රෝ බිය තුරන් කිරීමට ඉවහල් වන තොවිල් සන්න,දහ අට සන්නි ඇතුලත් වේ. සාම්ප්‍රදායික ශාන්ති කර්ම ලෙස පැවත එන ගම්මඩු,දෙවොල් මඩු ශාන්ති කර්ම අයත් වන්නේ නර්තන හා සංදර්ශනමය අවස්ථාවන්ටය.වෙස් මුහුණු අතුරින් රෝග බිය තුරන් කිරීම උදෙසා නිර්මාණය කල වෙස් මුහුණු “රාක්ෂ වෙස් මුහුණු” ලෙස හැදින්වේ.තොවිල් හෝ සන්නි ශාන්ති කර්මයේ දී යකැදුරා රෝගයට හේතුකාරක වූ යක්ෂයාගේ ස්වභාව අනුකරණය කිරීමේහිලා මනඃකල්පිත වෙස් මුහුණ පළදින බව ශාන්ති කර්ම ඉතිහාසයෙන් පැහැදිලි කරගත හැකිය.
වෙස් මුහුණු සාදන්නේ කුමන ද්‍රව්‍ය වලින් ද?
රාක්ෂ වෙස් මුහුණු සෑදීමට පූර්ණ වශයෙන් ම යොදා ගනු ලබන්නේ “කදුරු ” නම් සැහැල්ලු මෘදු ලී විශේෂයයි. මෙම ලීය වෙස් මුහුණ කැටයම් කිරීමට පෙර දුමෙන් වියලනු ලබන අතර, ඇතුළත කුහරයක් සහිතව නිර්මාණය කරනු ලබයි .වෙස් මුහුණෙහි ඇස් නිර්මාණය කිරීම සඳහා බොහෝ විට වීදුරු යොදා ගනු ලබන අතර එමගින් වෙස් මුහුණට තාත්ත්වික පෙනුමක් ලබාදෙයි.වර්ණ සංයෝජනය වෙස් මුහුණු කලාවේ ප්‍රධාන තැනක් ගනු ලබයි .මෙහිදී රතු ,කලු,කහ සහ කහ වර්ණ භාවිත කරන අතර නිල් පැහැය භාවිත වන්නේ ඉතාම කලාතුරකිනි.
දැන් අපි ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු කලාවේ කැපී පෙනෙන වෙස් මුහුණු කිහිපයක් පිළිබඳ සලකා බලමු.
- ගිනි රාක්ෂ වෙස්මුහුණ
- නාග රාක්ෂ වෙස්මුහුණ
- මොනර වෙස්මුහුණ
- ගුරුළු රාක්ෂ වෙස්මුහුණ
- සන්නි වෙස්මුහුණ
වර්තමානය
දේශීය පමණක් නොව විදේශීය වෙළඳපොලේ ද වැඩි අවධානයක් හිමි කර ගැනීමට සමත් වූ මෙම වෙස් මුහුණු නිමැවුම්, වර්තමානයේදී විදෙස් සංචාරකයින් ඉලක්ක කර ගනිමින් වැඩි වශයෙන් නිර්මාණය කරනු ලබයි. මන්දයත් සංචාරක කර්මාන්තයත් සමග, අද වන විට මේවාට වැඩි මිලක් හා අවධානයක් ලැබී ඇත්තේ විදේශිකයන් අතර නිසාවෙනි. ඔවුන් බහුලව ආකර්ෂණය වන්නේ ඒවායේ පවතින හැඩයන්ට සහ වර්ණයන්ට ය. අම්බලන්ගොඩ ප්‍රදේශයේ විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය සඳහාම වෙස්මුහුණු ආශ්රිත නර්තනාංගයන් ද ප්‍රදර්ශනය කරනු ලබයි.ඒ ඔවුනට මේ පිළිබඳව අවබෝධය ලබාදීමට බවයි පැවසෙන්නේ. කර්මාන්තකරුවන් පවසන පරිදි, ඇතැම් අවස්ථාවල පැමිණෙන විදේශිකයන් මේ නිමැවුම් සඳහා මහා පරිමාණ ඇණවුම් ද ලබාදෙන අවස්ථා ඇත. නමුදු අවාසනාවකට ඒවා ඔවුන් වෙත ලබාදීමේ පහසුකම් ස්ථාපිත වී නොමැති නිසා එවැනි ආදායම් අවස්ථා මඟ හැරී ගොස් ඇත.
පසුගිය වසර ගණනාවක සිට වෙස්මුහුණු කර්මාන්තය තුළ කැපී පෙනෙන දියුණුවක් ඇති නොවූ බව කර්මාන්තකරුවන් සහ ප්රවීණයන්ගේ මතයයි.
- නිෂ්පාදනය අඩු බව
- ස්ථිර වෙළඳපොලක් අහිමිවීම.
- පූර්ණ වශයෙන් දෑතේ කර්මාන්තයක් වීම නිසා ශ්‍රමිකයන්ගේ හිඟ බව
ඉහත හේතු මෙම තත්ත්වයට ප්‍රධාන සාධක බවට ඔවුන් පෙන්වා දෙයි. වර්තමානයේ දී වෙනත් රැකියා අවස්ථාවල නැග්මත් සමග මෙවැනි කර්මාන්ත කෙරෙහි යොමුවීමට නව පරපුරේ උදවියගේ මැළිකම මෙන්ම නිමැවුම් වල ප්‍රමිතිය අඩුවීම ද අනෙකුත් සාධක ලෙස ඔවුන් තවදුරටත් පෙන්වාදෙයි. රටේ උද්ගත වන තත්වයන් අනුව සංචාරක කර්මාන්තයේ වන විචලනයන් හේතුවෙන් වෙස්මුහුණු කර්මාන්තයේ ද නැග්ම සහ බැස්ම තීරණය ව ඇති බව පසුගිය වසරවල දත්ත මොනවට පිළිබිඹු කරයි .
මේ සියල්ල අනුව වෙස් මුහුණු කලාව ලාංකීය ජන සමාජය සමග කෙතරම් බද්ධ වී ඇත්දැයි මනාව පැහැදිලි වෙයි.ශ්‍රී ලාංකීය නිමැවූම් කරුවන් අතින් නිමවෙන මෙම වෙස් මුහුණු ලාංකේය සම්ප්රදාය හා ආසියානු සංස්කෘතික එකතුවෙහි විවිධත්වයක් නිර්මාණය කිරීමෙහිලා ලබා දී ඇත්තේ සුවිශේෂී දායකත්වයකි. එබැවින් මෙවන් සංස්කෘතික දායාද වියැකී යාමට ඉඩ නොදී රැක ගැනීම අප සතු අත්‍යන්ත වගකීමකි.
By Rtr. සචිනි රණසිංහ
References :
- https://www.ukessays.com/essays/tourism/mask-industry-in-sri-lankas-southern-province-tourism-essay.php
- https://www.srilankanmask.com/
- https://www.picuki.com/tag/Wesmunu
- https://youtu.be/6FcJj82AXs8
- https://youtu.be/r_V_jdOLlBE
- https://youtu.be/Ns1yqvODrTk
Image credits :
Leave a Reply