
වේවැල් කෝටු නාරං සියඹලා අතු කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතු මේ හැම ඉපල් මගෙ දෑතට නොපෑ යුතු පමා නොවී එමි අකුරට මෙයින් මතු
වේවැල් කියූ සැනින් අප මතකයට එන්නේ සුන්දර ළමා අවධියේ දඬුවම් ලෙස ලැබුණු වේවැල් කසායයි. ඒ වේවැල සෑදීම සඳහා යොද ගනු ලබන්නේ වේවැල් නම් ශාකයෙන් ලබාගන්නා කෝටු ය. මෙම ශාකය ආශ්රයෙන් නිර්මාණය වූ අත්කම් විශාල ප්‍රමාණයකින් සමන්විත වේවැල් කර්මාන්තය, එකල ලාංකීය ජන සමාජයේ ප්‍රධාන ජීවනෝපායක් විය.
ඉතිහාසය
ලාංකීය වේවැල් කර්මාන්තයේ ඉතිහාසය දෙවන පෑතිස් රාජ්‍ය සමය දක්වා දිව යන්නකි.එකල භාරතයේ සිට මෙරටට පැමිණි අටලොස් කලා ශිල්ප අතර “කුළු පොත්තන්” නමින් හඳුන්වන පිරිසක් සිට ඇති අතර ඔවුන්ගේ රාජකාරිය වී ඇත්තේ වේවැල් සම්බන්ධ අත්කම් නිර්මාණය කිරීමයි. මීට අමතරව, රොබට් නොක්ස්ගේ ලංකාව පිළිබඳ සටහන් අතර, මෙම කුළු පොත්තන් ගැන සඳහන් කර ඇත්තේ මෙලෙසිනි.
“බෙරවායින් ළඟට එන්නෝ කුළු පොත්තෝය.ඔවුන්ගේ කාරිය වේවැල් බටපොතු ආදියෙන් කුළු,කුඩා වට්ටි,පෙටිටි ආදිය විවීමයි.”
මීට අමතරව ලක්දිව වේවැල් කර්මාන්තය බහුලව පැවති බවට සාක්ෂි සපයන්නේ, වේවැල්දූව, වේවැල් කඳුර ,වේවැල්වල හා වේවැල්දෙණිය වැනි වේවැල් ආශ්රිත ගම්මාන පැවතීමයි. තවද උඩරට හා පහතරට සංස්කෘතික මංගල්‍යවලදී අදටත් ඉදිරිපත් කරනු ලබන වේවැල් නර්තනය, එකල ජන සමාජයට වේවැල් කර්මාන්තය කෙතරම් සමීපද යන්නට කදිම නිදසුනකි.
කර්මාන්තයේ ව්‍යාප්තිය
අතීතයේ ලක්දිව ස්ථාන කිහිපයකම වේවැල් කර්මාන්තය ආශ්‍රිතව අත්කම් නිෂ්පාදන සිදු කළද, වර්තමානය වන විට එය කුඩා ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී පවතී. නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන වේවැල් වර්ග කිහිපයක්ම ලංකාවේ දක්නට ලැබෙන අතර, ඉන් කිහිපයක් නම්,
- මා වේවැල්
- කම්බොටු වේවැල්
- හීන් වේවැල්
- කැකුළු වේවැල්
- සුදු වේවැල්
අතීතයේ මධ්‍යම කඳුකරයේ මෙන්ම , සබරගමු පළාත ආශ්‍රිතව වේවැල් බහුලව පැවතියද වර්තමානයේ වේවැල්වල සුලභත්වය අඩුවී ඇත.වර්තමන්යේ වැඩිවශයෙන් වේවැල් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශයක් ලෙස වේවැල්දෙනිය හඳුනාගත හැක.නමුත් වේවැල් කර්මාන්තය ආශ්‍රිතව වෙළඳපොළ නිර්මාණය වී ඇත්තේ රදාවඩුන්න ග්‍රාමය ආශ්‍රිතවයි.
නිෂ්පාදනය හා වෙළඳපොළ
වේවැල් කර්මාන්තය ආශ්රිත නිෂ්පාදන රාශියක් දැක බලා ගත හැකි අතර, මුදල් දමන හැඹිලියේ සිට විශාල ගෘහ භාණ්ඩ දක්වාම එහි පරාසය විහිදී පවතී.හොඳින් පදම් කළ හීන් වේවැල් කුඩා විවීම් ගෙතීම් වලට භාවිතා කරනු ලබන අතර තරමක් විශාල ගෙඩි වැල් මගින් කුළු විවීම් ආදිය සිදු කරනු ලබයි. මා වේවැල් යොදාගනු ලබන්නේ සවි ශක්තිමත් ගෘහ භාණ්ඩ සෑදීමටයි.වේවැල් කර්මාන්තය ආශ්රිත අතීතයේ භාවිතා වුණු බහුල නිෂ්පාදන කිහිපයක් ලෙස, කුල්ල,මල් කූඩ,වට්ටි,හැඹිලි ආදිය හඳුනාගත හැක.වර්තමානයේදී ද මෙම නිෂ්පාදන දැක බලා ගත හැකි නමුත් වෙනදාට වඩා නව්‍යකරණය වූ නිෂ්පාදන රැසක් වෙළඳපොළට පැමිණ ඇත. ඒවා අතර, බුමුතුරුණු, අලංකාරවත් වේවැල පුටු, ආහර බහාලුම්, බිත්ති සැරසිලි සුවිශේශ වේ.
පෙර කියූ පරිදි වේවැල් කර්මාන්තයේ වෙළඳ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ රදාවඩුන්න ග්‍රාමයයි.කොළඹ-නුවර පාරේ ගමන් ගන්නා විට හමුවන, රදාවඩුන්න වේවැල් නගරයේ අලංකාරය නම් ඇසින් දැකිය යුතු මනස්කාන්ත දර්ශනයකි. රදාවඩුන්න වේවැල් නිෂ්පාදනවල තිබෙන අලංකාරය මෙන්ම එය පිටුපස ඇති කඳුළු කතාවද අප සාකච්ඡාවට බඳුන් කළ යුතුම ය.වේවැල් භාණ්ඩ නිෂ්පාදනකරුවන් නව්‍යකරණය මගින් ඉතා අලංකාර නිෂ්පාදනයන් දැඩි වෙහෙසක් යොදමින් සිදුකළද, ඒ සඳහා වෙළඳපොළේ ලැබෙන මිල නම් ඉතා අවම ය.
පැලී රිදවන අතේ කර ගැට කූඩු කුළු ටික සදා නිම් නැත පනම් දෙකකට නැහෙන ජීවිත මැදින් ගෙතෙනා සුමුදු වේවැල
නිෂ්පාදනය හා වෙළඳපොළ ආශ්රිත ගැටලු
පසුගිය වසර කිහිපයක දත්ත සමග ගත් කල වේවැල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයේ දැඩි පසුබෑමකට ලක්ව තිබේ. වර්තමානය වන විට වේවැල් කර්මාන්තයේ නිෂ්පාදකයන් වැඩි වශයෙන් උත්සහ කරනුයේ තම නිෂ්පාදන සංචාරක කර්මාන්තය සමග ප්‍රවර්ධනය කිරීමටයි. ඊට ප්‍රධානතම හේතුව වනුයේ, දේශීය පාරිභෝගිකයාව ඔවුනට අහිමි වීමයි.දේශීය පාරිභෝගිකයා වෙනත් විකල්ප වන ලාභදායී ප්ලාස්ටික් වැනි අමු ද්‍රව්‍ය වලින් සාදන නිමි භාණ්ඩ ගැනීමට පෙළඹීම මීට ප්‍රධාන හේතුවයි. වේවැල් නිෂ්පාදනකරුවාට භාණ්ඩ නිෂ්පාදනයේදී මෙන්ම විකිණීමේදී ඇතිවන ප්‍රධාන ගැටලු කිහිපයක් මෙසේ දක්වමි.
නිෂ්පාදන ගැටලු:
අමු ද්‍රව්‍ය ලබා ගැනීමේ අපහසුව මෑතකදී රජය විසින් සම්මත කළ පනත් වලට අනුව වේවැල් ශාකය කපා ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර අවශ්‍ය වන අතර.වේවැල් හිඟයද මේ සඳහා බලපයි. එකම ප්‍රදේශයකින් අමුද්‍රව්‍ය සොයා ගැනීමේ අපහසුව ලංකාවේ එක් ප්‍රදේශයක කියා නිශ්චිතව වේවැල් ශාකය නොතිබීම හේතුවෙන්, ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අමුද්‍රව්‍ය ප්‍රවාහනය කළ යුතු බැවින් ඒ සඳහා යන වියදම අධික වේ. ශ්‍රම දායකත්වය පිළිබඳ ගැටලු නව පරම්පරාව විසින් මෙම කර්මාන්තයට දක්වන ප්‍රතිරෝධය නිසා නිෂ්පාදන සඳහා ශ්‍රම දායකත්වය අඩුවී ඇත. අමුද්‍රව්‍ය ආනයනය නිෂ්පාදනයට ඇති පහසුව තකා පදම් කළ වේවැල්, සමහර නිෂ්පාදනකරුවන් විසින් ආනයනය කරනු ලබන අතර මේ හේතුව නිසා සුළු පරිමාණ නිෂ්පාදනකරුවන් අපහසුතාවයට පත් වීම හා දේශීය ප්‍රමිතිගත වේවැල් නිෂ්පාදන අභාවයට යාම.
වෙළඳපොල ගැටලු:
- නිෂ්පාදන වියදම් ඉහළ යාමත් සමග විකිණුම් මිල ඉහළ දැමීමට සිදුවීම නිසා මිලදී ගන්නා ප්‍රමාණය අඩු වීම.
- රට පුරා ව්‍යාප්ත වූ වෙළඳපොලක් නොමැති වීම.
- විදේශීය ආදේශක භාණ්ඩ වර්ග වෙළඳපොල ආක්‍රමණය කිරීම.
- නිසි අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක නොවීම.
- දේශීය පාරිභෝගිකයන් විසින් සිදුකරන නිෂ්පාදන අවතක්සේරු කිරීම්
- භාණ්ඩ අපනයනය සඳහා රජය විසින් නිෂ්පාදනකරුවන්ට අවස්ථාවක් සලසා නොදීම.
පාරම්පරික වේවැල් භාණ්ඩ නිෂ්පාදනකරුවන් රැකගනිමු.

අදටත් දේශීය වේවැල කර්මාන්තය සිදු කරනු ලබන්නේ පාරම්පරික වේවැල් ශිල්පීන් ය. ඔවුන් බොහෝ දෙනා උපන්ගෙයිම වේවැල් ශිල්පීන් වූ බැවින් වෙනත් ජීවනෝපායන් ගැන ඔවුහු බොහෝ දෙනාගේ දැනුම අවම වේ.තවද වේවැල් කර්මාන්තය යනු අපේ රටේ සංස්කෘතික උරුමයකි.මේ හේතූන් නිසා නිසැකවම අප විසින් වේවැල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්තය දියුණු හා සුරක්ෂිත කළ යුතුය.
වර්තමාන ලෝකයේ කාබන් පිය සටහන් අවම කිරීමේ අරමුණින් බොහෝ රටවල් දැන් ස්වභාවික අමුද්‍රව්‍ය වලට යොමු වෙමින් පවතී.අපේ රට තුළද ප්ලාස්ටික් නිෂ්පාදන වලින් අවම වී වේවැල් වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදන සිදු කළ හැකි නම් එය එක් අයුරකින් පරිසර හිතකාමී වන අතර තවත් අයුරකින් වේවැල් නිෂ්පාදන කරුවන්ට එයින් හොඳ වෙළඳපොලක් ලැබෙනු ඇත. වේවැල් ආශ්රිත භාණ්ඩ නිෂ්පාදකයා නගා සිටුවීම සඳහා, පහත ආකාරයේ යෝජනා ඉදිරිපත් කළ හැක.
- ඔවුනට පනවා ඇති නීති ඉවත් කර ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීයවම සපයා ගැනීමට අවස්ථාව ලබා දීම.
- රාජ්‍ය අනුග්‍රහය ඇතිව නව පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම.
- සුළු පරිමාණ නිෂ්පාදකයන් සඳහා දිරිගැන්වීම්
- නව පරම්පරාවේ ව්‍යවසායකයින් බිහි කිරීම සඳහා ව්යවසකත්ව ණය මුදල් හා දිරිගැන්වීමේ වැඩමුළු ඇති කිරීම.
- භාණ්ඩ නිෂ්පාදනය සඳහා යන්ත්‍ර සූත්‍ර පහසුකම් සැපයීම.
- විදෙස් රටවල ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ අපනයනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම.
- නව්‍යකරණය සඳහා තාක්ෂණික උපදෙස් ලබා දීම.
- දේශීය පාරිභෝගිකයාව දේශීය නිෂ්පාදන සඳහා පෙළඹවීම.
- රට පුරා ව්‍යාප්ත වූ වෙළඳපොලක් බිහි කිරීම.
කෙසේ හෝ දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක් දිය හැකි අයුරින් මෙම කර්මාන්තය වර්ධනය කළ හැකි නම්, එය මෙරට ආර්ථිකය ලබන විශිෂ්ට ජයග්‍රහණයකි. ලාංකීය වේවැල් නිෂ්පාදන නාමය ලෝක වෙළඳ පොළේ නුදුරේදීම දක්නට ලැබේවා යැයි අවසන පතමි.
වැලේ වැල් නැතිව ඇති වේවැල් කරුවා වරු සියයක් තිස්සේ කුල්ලක් ගෙතුවා සරු ටික පොලා බොල් ඇති දෑ විසි කෙරුවා රටටම සෙතකි අපෙ මේ වේවැල් කරුවා
By Rtr. හරිත් කුලතුංග
References :
- https://roar.media/sinhala/main/features/cane-industry-of-sri-lanka
- http://repository.kln.ac.lk/bitstream/handle/123456789/15592/322-327.pdf?sequence=1&isAllowed=y
Image credits : https://bit.ly/3oqK8bd https://bit.ly/3cbA93C https://bit.ly/3CdY4Ky https://bit.ly/3kwD23t https://bit.ly/3Fe8hs5
❤️🔥