
දකුණට නුදුරු ගමක ළමා කාලය ගෙවූ මා හට, අත්තම්මා කියාදුන් කතා හොඳ හැටි මතක ය. මැද ගෙයි අල්මාරියේ තිබු බීරළු කොට්ටයේ කතාන්දරය අත්තම්මාගේ කතා ගොඩේ තිබු ආඩම්බර කතා අතර පළමුවැන්න යි. ඉස්සර ලොකු අත්තම්මා වියූ බීරළු ගැන උජාරු කතන්දර එමට ය. ලොකු අත්තම්මා තරගයට වියූ රේන්ද මුහුදු හතෙන් එපිට යන්න, ගාල්ලෙන් නැව් නැග්ග කතා, අයියාත් මමත් ආසාවෙන් අසා සිටි හැටි මතක ය. ආච්චි අම්මාගෙන් වෙන් වී නගරයට ආ මට, නැවත බීරළු සවනත වැටෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ගම්පෙරළිය කියවද්දී ය. මාතර හාමිනේ තිස්සට තරවටු කරන්නේ රේන්ද ගෙදර කතරිනාගේ දෝනියැන්දා සමග බජනෙට නොයන්නට ය.
මෙකී ගාලු මැණිකෙලා හා බැඳුණු රේන්ද බීරළු ඉතිහාසය සොයා යන්නට වටින්නෙකි.
බීරළු කර්මාන්තයේ මුද්‍රාව ගාල්ලේ ය. මාතර, දික්වැල්ල, සීනිගම, මාගල්ලේ ගැහැණු බීරලු මෝස්තරයන්හි කෙලැ පැමිණැත්තෝය. කලකට ඉහත ගාලු ගොටුවේ ගල්බැම්ම මත රේන්ද වියූ ගැහැණුන් ගැන ඉතිහාස ප්‍රවාද බහුල ය. ගාලු ලේස්, බීරළු ලේස්, පෘතුගීසි ලේස් යන නම්වලින් ද ලොව ප්‍රසිද්ධ ලාංකික නිමැවුම් ගාලු වරායෙන් අපනයන කර ලොව නන් දෙස නිවාස, මාළිගා අලංකාර කර ඇත. ජනප්‍රවාද කතා අනුව, මාගල්ලේ අත්පිස්න එංගලන්ත රජ ගෙදර ද ඇත්තේ ය.

රේන්ද විවීම සඳහා ලීයෙන් සැදූ රෙදි පුරවා සකස් කර ගත් “රේන්ද කොට්ටය” නම් වූ රේන්ද උපකරණය යොදා ගනී. එහි සිලින්ඩර හැඩයට ලීයෙන් සෑදුව කොයිරුවට රෙදි අල්ලා පුරවා ඇත. රේන්ද මෝස්තරය කොළයක පැන්සලකින් අඳින අතර, එය යටින් කාඩ්බෝඩ් පටියක විදිය යුතු තැන් ඇල්පෙනෙත්තකින් සිදුරු කරමින් සකසා එය පෙර සඳහන් කළ කොයිරුව මත ඇල්පෙනෙති මගින් අමුණනු ලබයි. එම ඇල්පෙනෙති වටා බීරළු දමා එතූ නූල දමා එම බීරළු එහාමෙහා කර රේන්ද කොට්ටය මත අපුරු වියමන් සිදුකරයි.
මෙසේ වියන රේන්ද පහතරට කුල කාන්තාවගේ උඩුකය හැට්ටයේ අනිවාර්ය අංගයක් විය. කබා කුරුත්තුවේ කර වට සහ අත වටා අමුණන මේ රේන්ද උසස් කුලවන්තියගේ කුල අභිමානයේ සංකේතයක් ද විය. මෙම බීරළු රේන්ද වෙළදාමක් ලෙස දියුණු වන්නේ, 17 වන සියවසේ මුල් භාගයේ දී උඩරට කාන්තාවන් බිසවුන් හා මෙරට විසූ යුරෝපියානු කාන්තාවන් අතර රේන්ද මෝස්තර පතළ වීමත් සමඟ ය. මෙකී රේන්ද කුල කාන්තාවන්ගේ ඇඳුම් ආයිත්තම් හැඩ කිරීමෙන් ඔබ්බට ගොස් අත්පිස්න, මේස රෙදි, ඇඳ ඇතිරිලි ,පුටු කවර ,තිර රෙදි නිර්මාණයටත් දායක විය.

විවිධ වූ හැඩතල මෝස්තර සහ කැටයම්වලින් අනූන මෙම රේන්ද කලාව අද වනවිට මාතර වෙරළබඩ කලාපය තුළ සුළු වශයෙන් පමණක් ව්‍යාප්තව පවතී. බීරළු කලාව මෙරට වෙරළබඩ ජනතාවගේ සංස්කෘතිකාංගයන්ගෙන් පණ ලැබූ කර්මාන්තයකි; කර්මාන්තයකට වඩා එහා ගිය සාම්ප්‍රදායකි. මෙකී සම්ප්රදායේ අදවන විට උදාව ඇති ඉරණම සැබවින්ම කණගාටුදායක ය. අදවන විට ගාලු බීරළු සොයාගැනීම පවා අපහසු කාර්යයකි. බීරළු කොට්ට සොයාගත හැක්කේ අත්තම්මාගේ කතන්දරවලත්, ගාලු කෞතුකාගාරය තුළත් පමණි.
කෙසේ වෙතත්, අපේ ලොකු අත්තම්මා එංගලන්තයට යවන්නට බීරළු විවී ය. අත්තම්මා උඩරටට විකුණන්නට බීරළු විවී ය. අම්මා විනෝදයට යන්තම් බීරළු විවී ය. නමුත්, ඔවුන් තිදෙනාටම මා හට බීරළු වියන්නට කියා දෙන්නට අමතක විය.
By Rtr. දැහැමි ගුණතිලක
Image credits :
Leave a Reply