
අතීතයේ සිටම මානවයා තොරතුරු හුවමාරු කරගැනීමටත්, තම සිතැඟි අදහසක් අනෙකාට ඉදිරිපත් කිරීමටත් විවිධාකාර වූ සන්නිවේදන මාධ්‍යයන් භාවිතා කිරීමට පෙළඹිණි. මෙසේ තොරතුරු සන්නිවේදනයත්, රසවින්දනයත් එකට මුසුවීමෙන් කතාන්දර කීමේ කලාවක් හා පුරුද්දක් ඈත අතීතයේ සිට අද දක්වාම මානව ඉතිහාසයේ දක්නට ලැබෙන සුවිශේෂි අංගයකි. වර්තමානයේදී ද යම් විවේකයක් ලැබුණු විට, විනෝද චාරිකාවක යෙදුනු විට, ගිනිමැලයක් වටා හිඳගෙන රාත්‍රී කාලයේ අසිරිය විඳින විටෙකදී පවා කතාන්දර කීමටත්, කතාන්දර ඇසීමටත් මිනිසා මහත් සේ රුචියක් දක්වයි. කතාන්දර කීමේ කලාව පසු කලෙක නාට්‍ය, ගීත, සංගීතය වැනි සෞන්දර්යාත්මක හා සංස්කෘතික අංග බිහිවීමේදී මනා පිටුවහලක් විය. මෙම සෞන්දර්යාත්මක ගමන් මගේදී “රූකඩ කලාව” බිහිවීම, එම චාරිකාවේ සුවිශේෂි සන්ධිස්ථානයක් ලෙස පෙන්වාදිය හැකිය.
රූකඩ කලාවේ විකාශනය දෙස හැරී බැලීමේදී, එහි ආරම්භය වසර පන්දහසකටත් වඩා ඈත අතීතයකට විහිදෙයි. මානව විද්‍යා පර්යේෂකයන් සොයාගෙන ඇති දත්ත වලට අනුව, මිනිස් සිරුර මානව රංගනයට භාවිත කිරීම ආරම්භ වීමත් සමඟම රූකඩ කතාන්දර කීමේ ප්‍රාසාංගික කලාව සඳහා යොදාගෙන ඇත. නමුදු, රූකඩ කලාව කවදා, කෙසේ, කොහේදි ආරම්භ වූවාදැයි නිශ්චිතවම ගෙන හැර දැක්වීමට තවමත් ප්‍රමාණවත් සාක්ෂි සොයා ගැනීමට අපොහොසත් වී ඇත. ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින රූකඩ නාට්‍යයේ ආරම්භය නාඩගම් වලට වඩා ඈත අතීතයට දිව නොයන බව, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් තම “සිංහල ගැමි නාටකය” නම් කෘතියෙහි දක්වා ඇත. 19 වන සියවස අග භාගය වන විට, ස්වභාවිකත්වයට ළං වීම, ස්ත්‍රීන් රඟපෑම වැනි විවිධ හේතු සාධක නිසා නූර්ති කලාව, නාඩගම් අභිබවා ප්‍රේක්ෂක සිත් දිනාගැනීමට සමත් විය. එමනිසා නාඩගම් ශිල්පීන් රූකඩ මගින් නාට්‍ය පෙන්වීමට පෙළඹී ඇත. රූකඩ සඳහා යොදාගත් කතා වස්තූන් නාඩගම්වල තිබුණු කතා වස්තුන්ම වීම එහි ප්රතිඵලයකි. මෙසේ කතා වස්තු පාදක කරගෙන ජනාදරයට පාත්‍ර වූ රූකඩ නාට්‍ය අතර වෙස්සන්තර නාඩගම, ඇහැලේපොළ නාඩගම, කාලගෝල නාඩගම ආදිය පෙන්වාදිය හැකිය .

රූකඩ කලාව පිළිබඳව, ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ දකුණු පළාතේ ගාල්ලේ අම්බලන්ගොඩ ප්රදේශයයි. නේක විධ ගැමි කලාවන් රාශියකට හිමිකම් කියන අම්බලන්ගොඩ, ඈත අතීතයේ සිටම නොයෙක් අවස්ථාවලදී කරනු ලබන පුද පූජා ඇදහිලි පිළිබඳව මෙන්ම කෝලම් හා නාඩගම් පිළිබඳවද ප්‍රසිද්ධියක් උසුලයි. නාඩගම් අභාවයට යාමත් සමඟම බිහිවූ රූකඩ කලාව අම්බලන්ගොඩ ප්‍රදේශය කේන්ද්‍රකොට ගෙන බිහි වීමට එය හේතු පාදක වන්නට ඇත. සිංහල ගැමි නාටකය නම් කෘතියේ දී තවදුරටත් අදහස් දක්වන සරත්චන්ද්‍රයන් පවසන්නේ 1952 වසරේ ඔහු සිදුකළ පර්යේෂණයකට අනුව ශ්‍රී ලංකාවේ සිටි රූකඩ නාට්‍ය කණ්ඩායම් පහම අම්බලන්ගොඩ ප්‍රදේශයේ කණ්ඩායම් පහක් බවයි. ලංකාවේ දකුණු මුහුදුබඩ ප්‍රදේශයේ කලකට පෙර බොහෝ සෙයින් ප්‍රසිද්ධ වූ කෝලම් නාටකවල ප්‍රධාන ලක්ෂණයක් ලෙස වෙස්මුහුණු පෙන්වා දිය හැක. එම වෙස්මුහුණු කැපීම හා සායම් කිරීම සිදුකළ කෝලම් නාට්‍ය ශිල්පීන්ම රූකඩද කැපීම හා සායම් කිරීම සිදු කරන්නට ඇතැයි විශ්වාසයක් තොරතුරු ගවේශකයන් තුල පවතී. කෙසේ නමුත් රූකඩවලට මෙන්ම වෙස්මුහුණු වලට ද එකසේ ප්‍රසිද්ධියක් උසුලන අම්බලන්ගොඩ ප්‍රදේශයේ කිසිදු රූකඩ ශිල්පියෙකු අද වන විට කෝලම් නාට්‍ය ශිල්පයේ යෙදෙන බවක් දක්නට නොලැබේ.

ජනකතා, බෞද්ධ ජාතක කතා, ඓතිහාසික කතා හා සමකාලීන ජන ජීවිතයේ හාස්‍යමය අවස්ථා ආදිය රූකඩ නාට්‍යවලදී ඉදිරිපත් කෙරේ. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී මුල් කාලයේ ඇතැම් ලේඛනවල ද රූකඩ කලාව ගැන සඳහන් වේ. 19 වන සියවසේදී, අම්බලන්ගොඩ විසූ පොඩිසිරිනා නම් කලාකරුවාගේ මෙහෙයවීමෙන් දක්ෂිණ ලංකා රූකඩ සංගමය නව ජවයක් ලබා රූකඩ කලාව ජනතාව වෙත තවත් ළං කිරීමට සමත්වූහ . රූකඩ වර්ගීකරණයේ දී නූල් රූකඩ, අත් රූකඩ, සෙවනැලි රූකඩ, දඬු රූකඩ, වෙස්මුහුණු රූකඩ, ඇඟිලි රූකඩ, ජල රූකඩ ආදී වශයෙන් පුළුල් ලෙස වර්ගීකරණය කළ හැක. ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් භාවිතා වන්නේ නූල් රූකඩයි. රූකඩ වල දී මූලික වශයෙන් සිදු කෙරෙනුයේ රූකඩ ශිල්පියා විසින් ලීයෙන් තැනූ රූප නූල් යොදාගනිමින් එහි චලන අවශ්‍යතාව මත හැසිරවීමයි. සමස්ත රූකඩයේම තිරස් හා සිරස් චලන සිදු කිරීමට මෙසේ නූල් 9 ක් යොදා ගැනේ. මිනිස් දෑතින් නිර්මාණය වූ අජීවී රූකඩයකට සජීවි චරිතයක් ආරෝපණය කර ප්‍රේක්ෂකයාගේ හදවතේ සිතුවම් කිරීමට රූකඩ ශිල්පියෙකු සතු විය යුතු පුහුණුව හා ශික්ෂණය අතිමහත්ය . වර්තමානයේ රූකඩ කලාකරුවෝ රූකඩ කලාවට දේශීය හා අන්තර්ජාතික වශයෙන් වටිනාකමක් ලබා දීමට බොහෝ සෙයින් වෙහෙස වී ක්‍රියා කරති .

ලෝක සංස්කෘතික උරුමයක්, කිසියම් සංස්කෘතියක ඈත අතීතයේ සිට රැකගත්, ස්පර්ශ කළ නොහැකි මානව නිර්මාණ අංගයන් “අස්පර්ශ සංස්කෘතික උරුමයන්” ලෙස හැඳින්වෙයි. ශ්‍රී ලංකාවේ නූල් රූකඩ කලාව ලෝක මානව අස්පර්ශ සංස්කෘතික උරුමයක් ලෙස 2018 වසරේ දී යුනෙස්කෝ නියෝජිත ලේඛනයේ සටහන්ව ඇත. 2020 දි එය ලෝක සංස්කෘතික උරුමයක් ලෙසද ප්‍රකාශයට පත්විය. ශ්‍රී ලංකාවේ රූකඩ කලාව කෙතරම් වැදගත් හා සාර්ථක කලාත්මක අංගයක් දැයි පෙන්වා දීමට ඇති හොඳම නිදසුන ලෙස මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා “ජයදේව තිලකසිරි අභිනන්දන” ග්රන්ථයට ලියූ “The Development of Puppetry in Sri Lanka” නම් ලිපියේ සඳහන් වන පරිදි මියුනික් කෞතුකාගාරයේ අදටත් අම්බලන්ගොඩ පොඩිසිරිනා නිර්මාණය කළ රූකඩයක් දක්නට ලැබීම පෙන්වාදිය හැකිය.
ශ්‍රී ලංකාවේ රූකඩ කලාව සඳහා මූලික ආභාෂය ලැබී ඇත්තේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයෙන් බවට සාධක පවතින අතර, මෑත කාලීන රූකඩ කලාව සැලකූ විට දකුණු ඉන්දියානු ප්‍රභවයක් ඒවා සතු බව පෙනී යයි . ඉන් අනතුරුව විදේශීය අනන්‍යතා ලක්ෂණ ද මුසු වී ශ්‍රී ලාංකීය රුකඩ ශිල්පීන් අතින් වැඩි දියුණු වී රූකඩ කලාව ඉදිරියට ගලාගෙන යනු දක්නට ලැබේ. ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන පැරණිතම කලා මාධ්‍යයක් ලෙස රූකඩ කලාව සැලකේ. විදේශීය ආභාෂයක් ලැබුණද, විදේශීය රටවල ව්‍යාප්තව තිබුණද ශ්‍රී ලාංකීය රූකඩ කලාව තුළ අපට ම විශේෂ වූ අනන්‍යතාවක් දක්නට ලැබේ. ළදරුවාගේ සිට මහල්ලා දක්වාම කිසිදු තරාතිරමක් නොමැතිව එකට සිට නරඹා රස විඳිය හැකි කලා මාධ්‍යයක් මෙන්ම දේශීය අංගයක්ද වූ රූකඩ කලාව අභාවයට යාමට ඉඩ නොදී රැක ගෙන ඉදිරි පරපුරටත් එය එලෙසින්ම විඳීමට හැකිවන පරිදි ඔවුන් වෙත දායාද කිරීම අප සතු වගකීමකි.
By Rtr. හිරුෂ මුණසිංහ
References : https://bit.ly/3H2w9AJ https://bit.ly/3H2CaNV Image credits : https://bit.ly/304i9FM https://bit.ly/3bRTbfi https://bit.ly/3C3wFup https://bit.ly/3H8syB2 https://bit.ly/3wupnyV https://bit.ly/3n0aEZc
Leave a Reply