
වියළි කාලයේ දී සිඳී ගිය වැව් පත්ලට බැස වසර පුරාවටම සෑහෙන පරිදි, කර්මාන්තයට සුදුසු මැටි එකතුකර ගන්නා කුඹල්ලු, ඒවා බෝල කර හිස තබාගෙන සිය කුම්බකාර ගම්මානය වෙත රැගෙන එති. කාලාන්තරයක් තිස්සේ කළ හුරු පුරුදුකම් මත ඒ රතු මැට්ට, වැලි ආදි අවැසි අනෙකුත් කළමනා සමඟ මුහු කොට, දින කීපයක් තැම්බෙන්නට හරිනු ලැබේ. සිහින් පතුරක් සූදානම් කරගෙන ඉන් මැටි කපමින් ගල් කැට හා අපද්‍රව්‍ය ඉවත්කර ගත් පසු මැටි දෙපයින් පාගමින් නියමිත පරිදි පදම් කරගැනීමේ වෙහෙසකර කර්තව්‍යයට කුඹල් කාන්තාවෝ පවා කරට කර එක් වෙති.
මැටි හාරන්න බැස ගත්තේ වළ තුළට මැටි ගොඩ ගන්න කවුරුත් නැත උදව්වට තනිවම ගොඩ ගනිමි බර අරගෙන කරට සුරිඳුනි කදිර පුර ලැබදෙනු මැන පිහිට පය රිදෙනවා පාගා මැටි පදම කොට ගත දැවෙනවා සිදු වී ගිනි තපින්නට සිත රිදෙනවා මිල අඩුවෙන් කියන කොට දෙවිඳුනි සිව්වරම පිහිටයි කුඹල් මට මැටි ගොඩ අනා සකපෝරුවෙ තියන්නේ අතකින් කරකවා ගෙන ඉදි කරන්නේ කැලයෙන් දර සොයා ගෙන ගිනි පිඹින්නේ කවුරුද මහතුනේ මගෙ දුක දකින්නේ - කුඹල් කවි -
කැරකෙන සකපෝරුව උඩ තැබුණු පදම් කළ මැටි පිඩ මතින් මටසිලිටි ව දිව යන තෙත් අතැඟිලි අතරින් නෙත් අදහා ගත නොහෙන හැඩතල මතුවන අපූරුව සිත් ඔකඳ කරවන දසුනකි. පසුව, තෙත සිහින් රෙදි පටක් අල්ලා මනාව සකස් කරගත් විවර ගැට්ට, ගෙල හා ඉහළ කොටසින් යුත් අසම්පූර්ණ වළඳ සකපෝරුවෙන් කපා ඉවත් කරගනියි. මැටි බඳුනේ ඇතුළු පසින් සුවිශේෂ සුමට ගලක් අල්ලා, පිටතින් ලී පත්තකින් පහර දෙමින් එකම ඝනකමින් යුතු බිත්තියක් පවතින පරිදි අඩිය නිර්මාණය කර ගැනීම ද සැබවින්ම පුදුමාකාර ය. මෙසේ සකස් කරගත් කුඹල් භාණ්ඩ පුළුස්සා ගැනීමට පෙර දින දෙක තුනක් මඳපවනේ වේළෙන්නට හැරේ. පසුව කැඩුණු වළං කටු ස්තරයක් මත ප්‍රවේශමෙන් එක මත එක තැබුණු මැටි භාණ්ඩ මතින් යළිත් වළං කටු ස්තරයක් යොදා, දියකළ මැටි සමඟ මිශ්‍ර කළ පිදුරු අතුරා පෝරණුව සකස් කරගනු ලැබේ. අනතුරුව උඳුනේ විවරවලට ලී කුඩු පුරවා පොල් ලෙලි පත්තු කර දමා දින කිහිපයක් තැවෙන්නට ඉඩ හරියි. අවසන හොඳින් දර දමා ගිනි දල්වා පැය පහක් පමණ මේ මැටි භාණ්ඩ නියමිත පාලිත උෂ්ණත්වයේ මනාව පුළුස්සා ගනු ලැබේ. ඉන් පසු මේ නිර්මාණකරුවෝ අලංකාර ලෙස පින්තාරු කිරීමෙන් හෝ පලාපෙති, පනාව, දියරැළි, කතිරමල වැනි විචිත්‍ර මොස්තර යෙදීමෙන් හෝ වඩාත් කලාත්මක අරුතක් සිය නිර්මාණවලට ලබා දෙති. කුඹල් ජනයාගේ ජීවිත කතාන්දරයත් රැගෙන නන් ආකාරයේ කළගෙඩි, හට්ටි, මුට්ටි, ගුරුලේත්තු, මැටි පහන්, පෝච්චි හා විසිතුරු මැටි භාණ්ඩ වෙළඳපොළ සොයා එන්නේ ඉන් අනතුරුවයි.

මේ කුඹල් වරුණ ක්‍රි.පූ 2500 තරම් වූ ඈත ලක්දිව ඉතිහාසයක් ඔස්සේ ඇදී යන බව ඔබ අසා තිබෙනවා ද? ප්රාග් ඓතිහාසික යුගයේ ආහාර පිසීම, ජලය ගබඩා කර තබා ගැනීම ආදී ගේ දොර මුළුතැන්ගෙයි එදිනෙදා කටයුතු සඳහා භාවිත කළ බවට සැලකෙන දියුණු තාක්ෂණයෙන් යුත් කාලරක්ත මැටි බඳුන් ඇඹිලිපිටියේ උඩ රංචාමඩම ප්‍රදේශයේ කැණීම් කටයුතු වලින් සොයාගෙන ඇත. උෂ්ණත්වයට ඔරොත්තු දෙන හා පිරිසිදුකාරක ගුණ ඇති අමුද්‍රව්‍යයක් ලෙස මැටි පිළිබඳ හා කර්මාන්තයේ විද්‍යාත්මක පසුබිම පිළිබඳ අතීත හෙළ ජනයාට තිබූ අසමසම ඥානය, මිහිමව්ගෙන් ලද අගනා දායාදයක් වැනි ය. එමෙන්ම ඉබ්බන්කටුව, පොම්පරිප්පු ආදී පැරණි සුසාන භූමිවලින් හමු වූ මැටි ඔරු, එකල ආදාහන පිළිවෙත් සඳහා ද සාක්ෂ්‍ය දරයි. පසු කාලීනව දෙවන පෑතිස් රජ සමයේ දුමින්ඳාගමනයත් සමඟ මෙරටට පැමිණි ශිල්ප ශ්‍රේණි දහ අට අතර කුඹල් පිරිස ද වූ බව ඉතිහාසයේ සඳහන් ය. බුද්ධ ප්‍රතිමා නෙළීම, ආරාමාශ්රිත නොයෙකුත් ඉදි කිරීම් හා මැටි පහන් නිමවීම ආදි ආගමික අවශ්‍යතා ද මැටි කාර්මිකයන් අතින් ඉටුවිය. කාලයත් සමඟ ගොඩනැගිලි ඉදිකිරීම ආශ්රිත උළු, ගඩොල් නිෂ්පාදනය ද සිදු කෙරිණි.
හෙළ කුලක්රමය විසින් මානවහිතවාදි නොවන අන්දමින් බඩහැලයන් ලෙස කුඹල් පිරිස අවමානයට ඇද දැමීම හා තරුණ ප්‍රජාව මා පිය උරුමයෙන් හිමි වූ ශිල්පය අතැර වෙනත් රැකී රක්ෂාවල නිරත වීමට ඇල්මක් දැක්වීම ආදී සමාජ ආර්ථික හේතූන් නිසාත්, කාලයාගේ ඇවෑමෙන් ඇලුමිනියම් භාණ්ඩවල ආගමනය සිදුවීම නිසාත් පාරම්පරික කුඹල් කර්මාන්තය පරිහානියට පත් විය. එහෙත්, එදා තරම් සශ්‍රීක ලෙස නොවුණත් ගාල්ල, මාතර, කැලණිය, නාත්තණ්ඩිය, කෑගල්ල යන ප්‍රදේශවල අද වන විටත් පැරණි සම්ප්‍රදායන්ට අනුකූලව මැටි කර්මාන්තයේ නිරත වෙන කුඹල් පවුල් ජීවත් වෙති.

කෙතරම් නාගරීකරණය වුවත් මැටි භාණ්ඩයක සුපුරුදු හිතෛෂීභාවය සිංහලයන්ට කිසිසේත් ම අමතක කළ නොහැකි එක් අවස්ථාවක් අලුත් අවුරුද්දට කිරි උතුරන මොහොතේ දී උදා වෙයි. ඇලුමිනියම් ආදේශකවල නොපවතින සෞඛ්යාරක්ෂිත බව හා ස්වභාවිකබවින් අනූන මැටි භාණ්ඩ සඳහා තවත් මෙවැනි අවස්ථා මතු කරමින් මෙම ක්ෂේත්රය පුළුල් කළ හැකි නම් කෙතරම් අගනේ ද? කුඹල් සංස්කෘතියේ හරවත්කම් මතු කරමින් උචිත වෘත්තිය වටිනාකම ජන සමාජය තුළ ඇතිකරලීමත්, නව තාක්ෂණික මෙවලම්, පුහුණු මධ්‍යස්ථාන හඳුන්වා දෙමින් ලාංකීය ආර්ථිකය බල ගැන්වීමට තරම් මෙම කර්මාන්තය පෝෂණය කිරීමට පියවර ගැනීමත් අපගේ වගකීමයි. එමෙන් ම සංචාරක ආකර්ෂණයක් ලෙස හෙළ අත්කම් වල අනන්‍යතාවය පෙර අපර දෙදිග ලෝකය හමුවේ සලකුණු කිරීමට හැකි වන සේ මැටි කර්මාන්තය හා ඒ හා සබැදි ජන ජීවිතය ඉහළ අඩියකට ඔසවා තැබීමට ද අප අවධානය යොමු කළ යුතුම ය.
By Rtr. නිපුණි කඩුපිටිය
References :
- https://www.nerdynaut.com/the-undervalued-craft-in-sri-lanka-pottery
- http://www.serendib.btoptions.lk/article.php?issue=8&id=159
- https://www.youtube.com/watch?v=8_B8WbT1W7g&feature=youtu.be
- https://bit.ly/3BQrgHi
Image credits : https://bit.ly/3bQmEX8 https://bit.ly/3mRmx3F https://bit.ly/3kduIpw https://bit.ly/3D6NN3K https://bit.ly/3kiDRNl
Leave a Reply