
“අප පෘථිවියේ කොටසක් වන අතර පෘථිවිය අපේම කොටසකි. සුවඳැති මල් වර්ග අපේ සහෝදරියෝ වෙති. මුවා, අශ්වයා, රාජාලියා යන මොවුහු අපේ සහෝදරයෝ වෙති. ගිරි මුදුන් මෙන්ම තෘණ බිම් තුලින් රූරා වැටෙන ද්‍රව දහරාවන් ද අශ්වයාගේ හා මිනිසාගේ ගතේ උණුසුම ද යන මේ සියල්ල අයත් වන්නේ එකම පවුලේ සාමාජිකයන්ට ය.”- සියැටල්
හුස්ම බෙදන හරිත තුරුලතාවන් ද, ගලා යන නදී ගංගාවන් ද, පණ නළ ගැහෙනා සතා සිවුපාවන්ද සොබාදම් මාතාවගේ දෑතින් නිමවූ අපුරු නිමැවුම් ය. ඔවුහු මිහිමවගේ සැබෑ උරුමක්කරුවන් වෙති. ජෛව විවිධත්වය විෂයෙහි ශ්‍රී ලංකාවට හිමිවනුයේ වැදගත් ස්ථානයකි. වසර මිලියන ගණනාවක් පුරාවට දූපතක් ලෙස පැවතීමත්, සුවිශේෂී භූවිෂමතා හා දේශගුණික රටා තිබීමත් හේතුවෙන් අප රටට ආවේණික වූ ඉහළ ජෛව විවිධත්වයක් තිබීම එයට හේතුවයි. නමුත් කාලයාගේ ඇවෑමෙන් සිදුවූ විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත්, සමග ඇති වූ මිනිසාගේ නොසැලකිලිමත්භාවය නිසා සොබාදහමේ පොදු ධර්මතාවන් වෙනස් වී ජෛව විවිධත්වය විශාල තර්ජනයකට ලක් ව තිබීම කණගාටුවට කරුණකි. මේ හේතුවෙන් බොහෝ ශාක හා සත්ත්ව විශේෂ දැඩි අන්තරායකර තත්ත්වයකට මුහුණ පා තිබේ. ශ්‍රී ලංකාවේ සිටින තර්ජනයට ලක් වී ඇති මිරිදිය මත්ස්යය විශේෂ 54ක් අතුරින් විශේෂ 18 ක් ම ඒකදේශික මසුන් වීම හේතුවෙන් තර්ජනයට ලක්වූ සත්ව කාණ්ඩ අතරින් මිරිදිය මත්ස්‍ය කාණ්ඩයට ද විශේෂ ස්ථානයක් හිමිවේ.
වඳවී යාමේ අභියෝගයට මුහුණ පා සිටින සීතාවක පුරවරයට සින්න වූ “අසෝක පෙතියා” පිළිබඳව තැබෙන සටහනකි මේ…
හඳුනා ගැනීමේ ලක්ෂණ
ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍යයෙක් වන අසෝක පෙතියා (විද්‍යාත්මක නාමය – Systomus asoka) නැතහොත් රන්මානිස්සා Cyprinidae පවුලට අයත් සාමාජිකයෙකි. අසෝක පෙතියා, ස්වාභාවික සම්පත් සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සංගමය (IUCN- International Union for the Conservation of Nature and Natural resources) විසින් නිකුත් කරන රතු දත්ත පොතට අදාළ ව වඳ වී යාමේ උග්‍ර තර්ජනයට (CR- Critically Endangered) ලක් වී ඇති මිරිදිය මත්ස්‍ය විශේෂයකි. මොවුන්ට ආවේණික වූ විශේෂ ශරීර ලක්ෂණ කිහිපයකි. දිගටි ශරීරයක් ඇති මොවුන්ගේ පෞච්ඡ වරල පාදස්ථයේ ඕවලාකාර කළු පැහැති ලපයක් දක්නට ලැබෙන අතර වරල කෙළවරේ රතු පැහැති තීරු 2ක් දක්නට ලැබේ. තවද ශරීරය ආවරණය වන කොරපොතු වල කළු පැහැති වර්ණ අංශු (pigments) අඩංගු වේ. පාර්ශ්විකව ශරීරයේ දෙපසින් කළු පැහැති වර්ණ රේඛා 6-7 අතර ප්‍රමාණයක් දක්නට ලැබේ. මොවුන්ගේ පෘෂ්ඨීය වරල්, ලය වරල් සහ ශ්‍රෝණි වරල් කහ පැහැයක් ගන්නා අතර පාරදෘශ්‍ය වේ. අංකුට යුගල 2ක් දක්නට ලැබෙන අතර මුඛය උදරීය ව පිහිටා තිබේ.
ව්‍යාප්තිය
දැරණියගල, සීතාවක හා කිතුල්ගල අවට ප්‍රදේශයේ පමණක් මෙම මත්ස්‍යයන් ජීවත්වේ. මෙම ප්‍රදේශය කැලණි ගඟේ ජල පෝශක ප්‍රදේශ වල සිට ඉතා වේගයෙන් ගලා යන ගං දිය වාතයේ ඔක්සිජන් සමග හොඳින් මුසු වීම හේතුවෙන් ඇතිවන පිරිසිදු ජලය සහිත ඉතා සුවිශේෂී ප්රදේශයකි. ආවේණික මත්ස්‍ය විශේෂ බහුලය. වැලි හෝ ගල් සහිත පතුලකින් යුත් පැහැදිලි, පිරිසිදු මෙන්ම නොගැඹුරු ජලයේ වාසය කරන අසෝක පෙතියන් දුටු සැනින් අල්වා ගත නොහැකි වේගවත් පිහිනුම් කරුවන් ය.
තර්ජන
කැලණි ගඟේ ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව කැලෑ එළිකිරීම, ගංගා දෙපස ඉවුරු වල ශාක වැස්ම ඉවත් කිරීම, මැණික් ගැරීම හා කෘෂිකාර්මික කටයුතු වැඩි වීම නිසා ජල ප්‍රවාහන රටාවල වෙනස්කම් සිදුවීමත්, ගංගා ඉවුරු සෝදා පාළුවට ලක් වී ජලය අපිරිසිදු වී එහි ගුණාත්මකභාවය වෙනස්වීමත් මෙම මත්ස්‍යයන්ගේ සංඛ්‍යාව අඩු වීමට හේතු වී තිබේ.
තවද, කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා ගංගා හරස් කොට වේලි බැඳීම හේතුවෙන් ජල මට්ටම් වල සිදුවන වෙනස්කම් ද, ජලයේ උෂ්ණත්වයේ සිදුවන සැලකිය යුතු වෙනස් වීම් ද මත්ස්‍ය ගහන ගනත්වය අඩුවීම කෙරෙහි බලපා ඇති තවත් එක් ප්‍රධාන සාධකයකි.
එසේම නිවෙස් අලංකරණය සඳහා ගංගා පතුලේ ඇති තිරුවානා ගල් ඉවත් කිරීමත්, නීතියෙන් තහනම් වුවත් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා අසෝක පෙතියන් යොදා ගැනීමත් මොවුන්ට ඇති තවත් එක් තර්ජනයකි.
පසුගිය අවුරුදු කිහිපය තුළ මෙම ප්‍රදේශයේ තේ වගාව වැඩි වශයෙන් ව්‍යාප්ත වීම නිසා වගා කටයුතු වලදී භාවිතා කෙරෙන කෘෂි රසායන ද්‍රව්‍ය, රසායනික පොහොර ආදිය ද, කර්මාන්ත වලින් අක්‍රමවත් ලෙස බැහැර කෙරෙන අපජලය මෙන්ම ඝන අපද්‍රව්‍ය ආදිය ද මෙම ගංගා ජලයට එක්වීම තව තවත් මෙම මත්ස්‍ය විශේෂය වඳ වී යාමේ විනාශ මුඛයට ඇද දැමීමට අත්වැල් සපයයි.
සංරක්ෂණය සඳහා ගත හැකි ක්‍රියා මාර්ග

මිනිසාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙත් හේතුවෙන් අද වන විට වඳවී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින අසෝක පෙතියා රැක ගැනීමට අප හැකි පමණ ක්‍රියාත්මක විය යුතුය. මන්ද යම් හෙයකින් මෙම ප්රභේදයන් සමුගතහොත් ඔවුන් අනාගතයේ දි ලෝකයේ විද්‍යාගාර වල සංරක්ෂිත දර්ශක වලට පමණක් සීමා වූ විශේෂයක් වනු නොඅනුමාන ය.
පාසල් මට්ටමින් මෙන් ම ප්‍රජා සහභාගීත්වයෙන්, වන හා සත්ත්ව සංරක්ෂණයේ වැදගත්කම සහ කාලීන අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීම, වන විනාශයට මෙන්ම සතුන් අපනයනයට, දඩයම් කිරීමට එරෙහි නිතී අණ පනත් දැඩි කිරීම, විශේෂ මත පදනම් කරගත් සහ වාසස්ථාන ඉලක්ක කරගත් සංරක්ෂණ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම, ඔවුන් ජීවත් වන ස්වාභාවික පරිසරයෙන් පිටත පරිසරයක අභිජනනය කිරීම, තවත් විශේෂයක් සමග මුහුම් වීමට අවකාශ නොමැති සහ නිරෝගී නව පරිසර පද්ධති වලට අලුතෙන් හඳුන්වා දීම සහ පරිසර පද්ධති පිළිබඳ මෙන්ම මිරිදිය මසුන්ට අවශ්‍ය පාරිසරික තත්ත්ව පිළිබඳ ක්රමානුකූල සමීක්ෂණ සිදු කිරීම ආදිය සංරක්ෂණය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයකි.
ජීවත් විය යුත්තේ අප පමණක් ම නොවේ. සොබාදම අනියමාර්ථයෙන් ලබා දෙන අරුමැසි ජීවිත වල අයිතිය සුරැකීමේ වගකීම ද නිතැතින් ම අප සතුවේ. ඒ සඳහා අප සබුද්ධික පරපුරක් සේ නැගී සිටිය යුතු ය. අනාගත පරපුරට සොබාදහමට පෙම් කිරීමට කියාදිය හැකි නම් ඔවුන් සඳහා දිය හැකි නැණවත් ම දායාදය එයයි.
By Rtr. දිව්‍යාංජලී නිම්නතාරා
References :
- (Goonatilake et al., 2020)Goonatilake, S. D. A., Fernando, M., Kotagama, O., Perera, N., Vidanage, S., Weerakoon, D., Daniels, A. G., & Maiz-Tome, L. (2020). The National Red List of Sri Lanka : Assessment of the Threat Status of the The National Red List of Sri Lanka : Assessment of the Threat Status of the Freshwater Fishes of Sri Lanka (Issue February).
- (L.P.Jayatissa, 2012)L.P.Jayatissa. (2012). Present Status of Mangroves in Sri Lanka. In The National Red List 2012 of Sri Lanka; Conservation Status of the Fauna and Flora.
- (IUCN Red List Committee, 2013)IUCN Red List Committee. (2013). The IUCN Red List of Threatened SpeciesTM: Strategic Plan 2013 – 2020. Version 1.0. The IUCN Red List of Threatened Species, 20. ( http://cmsdocs.s3.amazonaws.com/IUCN_Red_List_Brochure_2014_LOW.PDF )
Image credits : https://bit.ly/2Zm6Nwl https://bit.ly/2ZuFTTb https://bit.ly/3ClKTrR https://bit.ly/3ClIn4N
Nicely written! 💙
Nicely written!!!
♥️♥️