
මානව ජීවයෙහි පැවැත්ම නිසියාකාරයෙන් පවත්වා ගැනීමෙහි ලා, ක්‍රමවත් ලෙස තහවුරු කරගත යුතු මූලික අවශ්‍යතා අතුරෙහි, ජල පරිභෝජන අවශ්‍යතාවය ප්රමුඛ වනුයේ, එහි පවත්නා වැදගත් ස්වරූපය මානවයා හට පසක් කරලීමට ම විය යුතුය.ජල පරිභෝජන අවශ්‍යතාව පිළිබඳව විමසීමට ලක් කිරීමේ දී විශේෂ අවධානයක් යොමු වනුයේ, පානීය ජල පහසුකම් කෙරෙහිය. මන්ද යත්, මිනිසාගේ දෛනික ජල අවශ්‍යතාවය තුළ ඉතා ඉහළ සෞඛ්‍යවත් මට්ටමක පැවතිය යුතු වන්නේ එය වන බැවිනි.
අද වන විට ගෝලීය සෞඛ්‍ය ක්‍රියාදාමයෝ බොහෝමයක් පිරිසිදු පානීය ජලය සපයා ගැනීම, ජල මූලාශ්රයන් හි විධිමත් නඩත්තුව,සහ ජල පිරිපහදු අපවහන ක්‍රම යන අංශ කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙමින් සිටිති. පිරිසිදු හෝ පිරිපහදු ජලය භාවිතයට ගැනීමේ වැදගත්කම පිළිබඳව ද ජනතාව දැනුවත් කරමින් සිටිති.
නමුත් වර්තමානය වන විට වඩාත් අභියෝගයට ලක්ව ඇත්තේ ද මෙකී අපේක්ෂිත තත්ත්වයන් සාධනීය මට්ටමක පවත්වාගෙන යාම ය .ආරක්ෂිත ජල පහසුකම් සැපයීම බොහෝ ආයාසයකින් සිදු කරගත යුත්තක් බවට පත්ව ඇත .නිදසුන් වශයෙන් ගතහොත් වත්මන් ශ්‍රී ලංකාවේ වියළි කලාපීය හා නාගරික පරිසරයන්හි පවත්නා ජල ගැටලු ඉදිරිපත් කළ හැකිය.
බොහෝ ග්‍රාමීය පළාත්හි දක්නට ඇති , ජලයේ පවත්නා කිවුල ස්වභාවය මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පමණක්ම නොව , ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන්ටද බලපෑම් කරමින් සිටී. විකල්ප හෝ විසඳුම් සෙවීමකින් තොරවම කිවුල සහිත ජලය දිගින් දිගටම පරිභෝජනය කිරීම හේතුවෙන්, නිදන්ගත වකුගඩු රෝගයන් ට හා ඒ ආශ්රිත සෞඛ්‍ය ආර්ථික හා සමාජ ගැටලු රාශියකට මුහුණ දීමට ග්‍රාම්‍ය ජනතාවට සිදුව ඇත . මෙකී තත්ත්වයන් ක්‍රියාත්මක වීම හේතුවෙන් මිනිසා සෞඛ්‍ය ආර්ථික හා සමාජයීය අංශ තුළ දුබල මට්ටමකට ඇද වැටීම ද, ඒ හරහා වක්‍රව රටක් වශයෙන් අප මුහුණ දෙන ගැටලු වර්ධනය ද , සිදු නොවිය යුතු අයහපත් ප්රවණතාවන් බවට පත්ව ඇත.
එසේම මිනිසාගේ දෛනික ජල අවශ්‍යතාවයන් පූරණය කරන්නාවූ ජල මූලාශ්රයන් හි බැරලෝහ සාන්ද්‍රගත වීමද කණගාටුවට කරුණකි. ඉතා අල්ප සාන්ද්‍ර ප්‍රතිශතයකින් හෝ බැරලෝහ පරිභෝජන ජල ධාරිතාවයට එක්වීමෙන් සිදුවන්නාවූ අහිතකර බලපෑම් එමටය . වකුගඩු දුර්වල වීම හා අකර්මණ්‍ය වීම, අධි රුධිර පීඩන මට්ටම් ඇතිවීම, අස්ථි දුර්වල වීම , අංශභාග වැනී රෝගයන්ට ගොදුරු වීම ඒ අතරින් සමහරකි.
මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් විසින්ම මිනිසා විනාශය කරා ගෙන යනු ලබන මෙවන් කාල වකවානුවක දී, පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ ක්‍රමවේද හෝ විකල්ප කෙරෙහි අප යොමු විය යුතු වනුයේ අපගේ ආරක්ෂාව අප විසින්ම සලසා ගත යුතුව ඇති බැවිනි . වර්තමානයේදී පාරිසරික දූෂණය සාපේක්ෂ වශයෙන් ප්‍රතිශතාත්මකව ඉතා ඉහළ අගයක් ගනු ලබන පරිසරයක , ජල පිරිපහදුව සේම ජලාපවාහනය ද ආයාසයෙන් සහ ඉතා ඉහළ පිරිවැය ක්‍රමවේදයන්ට අනුගත වෙමින් සිදුකළ යුත්තක් බවට පත්ව ඇත්තේ ඉතා ඛේදනීය අයුරිනි. ඒ නිසාම නූතන තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුගතව ක්‍රමවත් ජල සැපයුම් පවත්වාගෙනයාම යම්තාක් පරාජිත හා දුර්වල මට්ටමක පවතී.
වර්තමාන ලෝකයේ විකල්ප ජල පිරිපහදු ක්රමයන්ට අප යොමු විය යුත්තේ ද එබැවිනි .පුරාණ ශ්‍රී ලංකාව තුළ, පරිසරයෙහි පවත්නා ස්වාභාවික අමුද්‍රව්‍යයන් තිරසාර ලෙස භාවිතයට ගනිමින් සිදු වූ ස්වාභාවික හා නිසර්ග ජල පවිත්රකාරක ශිල්පයන් පැවතිබවට සාක්ෂි රාශියක් පවතී. වර්තමානය වන විට ඒවා විද්‍යාත්මකව ද සනාථ වී ඇති බැවින්, ඒ තුළින් තුලින් අපේක්ෂිත සාර්ථකත්වයක් ලබා ගැනීමට අපට හැකිවනු ඇත, මේ ආකාරයෙන් ආදි මුතුන් මිත්තන්ගේ දැනුම උපයෝගී කරගත් පාරම්පරික ජල පවිත්රකාරක ක්‍රමවේද තුළින්, ජල සම්පත පවිත්‍රකරණය සඳහා ශ්‍රී ලංකාවේ ගැමි ජනතාව පෙළඹී සිටිති. විද්‍යාත්මක කරුණු දැන හෝ නොදැන අප පැරැණි මුතුන් මුතුන් මිත්තන් විසින් මෙම ක්රමයන් පිළිබඳව දැඩි සැලකිල්ලකින් කටයුතු කර තිබීමද මෙහිදී අවධානය යොමු විය යුත්තකි.
මෙම ලිපියේ මූලික අවධානය යොමු වනුයේ එකී පුරාණ ක්‍රමවේදයන්ට අනුගතව ශාක පද්ධතිය භාවිතයෙන් ජල පවිත්‍රකරණය සිදු කරගත හැකි ආකාරය කෙරෙහිය. එබැවින් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ජලය පිරිපහදු කිරීමේ හැකියාව පවත්නා ස්වභාවික ශාක කිහිපයක් සහ ඒවා සතු සුවිශේෂ හැකියාවන් පිළිබඳව තහවුරු කර ගන්නා ලද කරුණු පහතින් දක්වනු ලැබේ.
කුඹුක්
ජල පෝෂක ප්‍රදේශවල ගං ඉවුරු ආසන්නයේ නිරන්තරයෙන් ම දැකිය හැකි, උස් වූ තුරු වියන් ද සාදන, කුඹුක් ශාකවලට ජලය පිරිසිදු කිරීමට සහ එහි ගුණාත්මකභාවය වැඩි කිරීමට සහජ හැකියාවක් ඇත. ජලයේ කිවුල ස්වභාවයට හේතුවන අධික කැල්සියම් ලවණ සාන්ද්‍රණය අඩු කිරීමේ හැකියාවක් මෙම ශාකයට පවතී. පසුකාලීනව රසායනික පරීක්ෂණ මගින්ද මෙම කරුණ තහවුරු වී ඇත. ගැමියන් විසින් කුඹුක් ශාක තම ළිං අසන්නයේ සහ වැව් ආශ්‍රිතව වගා කිරීමෙන් පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට ඈත අතීතයේ සිට පෙළඹී ඇත. මීට අමතරව අවට පරිසරයේ සහ ජල මූලාශ්‍ර වල සිසිල් බව රඳවා තබාගැනීමට ද මෙම ශාකය දායක වේ. මෙහි පවතින ඖෂධීය වටිනාකම වටිනාකම ද කියා නිම කළ නොහැක. හෘදයාබාධ, ලේ මදිකම, විෂ, මේදය වැඩිකම, රුධිර දෝෂ, වණ හා මුත්‍රා අඩස්සිය වැනි රෝග රැසක් සුව සුවපත් කිරීමට මෙම ශාකයට හැකියාව පවතී.
ඉඟිනි
ඉඟිනි ශාකයේ බීජ ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාවේ භාවිතා වන දේශීය ඖෂධයකි. පැරන්නන් විසින් වැව් වටා සහ වියළි කලාපීය ජල මූලාශ්‍ර ආසන්නයේ ඉඟිනි ශාක සිටුවීම සිදුකර ඇත්තේ මෙම බීජ ජල මූලාශ්‍ර වලට වැටුණු විට ජලය පිරිසිදු වන නිසාවෙන්ය. සැබවින්ම මෙය විස්මය දනවන කරුණක් වුවත්, අපේ මුතුන් මිත්තන් විසින් බොරවූ ජලය පිරිසිදු කරගැනීමට ඉඟිනි ඇට කිහිපයක් ජලයට දැමීම සිදු කර ඇත. මෙය අදටත් ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල භාවිත වේ. ස්වභාවිකව ජලය පිරිසුදු කිරීමේ හැකියාවක් පවතින නිසා ඉඟිනි, “නිර්මලී” ලෙසද ගැමියන් අතර ප්‍රචලිතය.ජලයේ පවතින බැරලෝහ අයන සාන්ද්‍රණයන් 20% – 70% ක් පමණ ඉඟිනි බීජ මගින් අවශෝෂණය කරගැනීමෙන් ජලය පිරිසිදු කිරීම සිදුකරන බව විද්‍යාත්මකව ද ඔප්පු වී ඇත.
ඉඟිනි මගින් ජලය පිරිසිදු කිරීමේදි පහත පියවර අනුගමනය කරනු ලබයි.
පළමුව ළිං ජලය හෝ ජල මූලාශ්‍රයෙන් ලබාගත් ජලය කළයකට දමාගනු ලැබේ.
ඉන්පසු ඉඟිනි බීජ හෝ බීජ කොටස් කළයේ පතුලට දමා, කළය කරකවමන්, ඇතුල් පෘෂ්ඨය ඉතා හොඳින් පිරිමදිනු ලැබේ. මෙම පිරිමැදීම විනාඩි 10ක් පමණ සිදු කරනු ලැබේ.
ඉඟිනි යොදාගෙන පිරිසිදු කිරීමට පෙර සහ පසු ජලයේ ස්වභාවය නිරීක්ෂණය කිරීමේදි ගම්‍ය වන්නේ ජලය ඉතාමත් පැහැදිලිව දිස්වන ආකාරයයි.

ඉඟිනි යොදාගෙන පිරිසිදු කිරීමට පෙර
ඉඟිනි යොදාගෙන පිරිසිදු කිරීමෙන් පසු
මඩ සහ අවලම්බිත අංශු සියල්ල කළයේ පතුලේ තැන්පත් වන බැවින් ජලය පෙරා, වෙනත් භාජනයකට දමාගනු ලැබේ.
මීට අමතරව මී, කොහොඹ වැනි ශාකද ලිං සහ ගංඟා ආශ්‍රිතව සිටවනු ලබන්නේ එම ශාක සතු ජලය පිරිසිදු කිරීමේ සහ සිසිල්ව තබා ගැනීමේ, අද්විතීය හැකියාව නිසාමය.
ඉහතින් දක්වන ලද කරුණු සැලකිල්ලට ගැනීමේදී පැහැදිලි වනුයේ, පවිත්‍ර මට්ටමේ ජල අවශ්‍යතාවයන් සපුරාලීමට හා සපුරා ගැනීමට අප තවමත් ප්‍රමාද නොමැති බවයි .අප කළ යුතු වන්නේ ජල මූලාශ්‍ර ආශ්රිත ශාක පද්ධතිය සුරක්ෂිතකරණය හරහා , පරිසරයේ සිදු වන්නා වූ නිසග ක්රියාකාරීත්වයන්ට ඉඩ හැර බලා සිටීම පමණකි. පිරිවැයක් දැරීමට ද සිදු නොවේ. සරලම, පහසුම සහ ඵලදායීම ක්‍රමවේදය මෙය බවද පැහැදිලිය. නමුදු අවාසනාවට මෙන් වර්තමානය වන විට ජල පෝෂිත කලාපයන් තුළ පවා මෙවන් ශාක දැකගත හැකිව ඇත්තේ බොහෝ අල්ප වශයෙනි. පරිසරය නොමනා ලෙස කළමණාකරණයට යොමුව ඇති ධනවත් බලවත් පිරිස් සිය ග්‍රහණයට ඒවා නැතුව ඇති සෙයකි.
වර්තමාන ලෝකය බොහෝ සෙයින් වර්ධිත තාක්ෂණික මට්ටම් අත්පත් කර ගෙන ඇති නමුදු , ඉතිහාසය පුරාවටම ඇති ඇතැම් කාරණාවන්වල විද්‍යාත්මක සත්‍යතාවයන් ඇති බැව් අප පිළිගත යුතුව ඇත . ඒවා පාරම්පරික වටිනාකම් ලෙස ඉදිරි පරපුරට දායාද කළ යුතු වන්නේ එබැවිනි. එම නිසා පාරිසරික වටිනාකම්වලට හා පාරම්පරික බුද්ධිමය සත්‍යතාවයන්ට අනුගත, දෛනික චර්යා රටාවක් ගොඩනගා ගැනීම හරහා ශාරීරික ,මානසික ,සෞඛ්‍ය , ආර්ථික , සමාජයීය හා සෙසු අංශ සියල්ලන් තුළම සාධනීය හා ඵලදායි මානව ප්රජාවකගේ ක්රියාකාරීත්වයක් අපේක්ෂා කිරීමට අපට හැකිවනු ඇත. ජල සම්පත සුරැකෙනු ඇත; අපද සුරැකෙනු ඇත.
By Rtr. Janani Chathurya Image Credits: https://bit.ly/3DofG7a https://bit.ly/3lvRIkC https://shutr.bz/3lv9F2y https://bit.ly/2WYyQB6 https://bit.ly/3anWfz0 Other images by: Rtr. Dasith Tilakaratna References: https://bit.ly/3AvCBfc https://bit.ly/3vd9Pz3
Enjoyed the read 😊