අහසෙ විසිරුණු දුලන තරු කැට වැසී නම් කළු වලා රොදකින් සුළං පොද මිස අවැසි කිම වෙන පා කරන්නට වලා අඳුරත්… මතු කරන්නට තරුවෙ එළියත්…
තුම්මෝදර ඉලුක්ඕවිට කනිෂ්ඨ විද්‍යාලයේ සාමාන්‍ය පෙළ පන්තියේ නංගිලා මල්ලිලා මේ දවස්වල අඛංකාර ව්‍යාපෘතියත් එක්ක සුපුරුදු ලෙස ඉගෙනීම් කටයුතුවල නිරත වෙන බව අපි හැමෝම දන්නා කරුණක්. ඉතින් නොකඩවාම සති අන්ත ගණනාවක් තිස්සේ කෙරුණු මේ ඉගැන්වීම් කටයුතුවලින් මදකට මිදී, ලෝක ළමා දින සැමරුමක් විදිහට, පුංචි එයාලට සතුටුදායක වෙනසක් අරන් එන්න අඛංකාර අපේ කණ්ඩායම අලුත් අදහසකට මුලපිරුවා.
කවි, කතන්දර ලියන්නට, සිතුවම් කරන්නට, ගී කියන්නට ඒ නංගිලා මල්ලිලා දැක් වූ හපන්කම් ඉස්මතු කෙරෙන නිර්මාණ දැක්මක් සංවිධානය කිරීම තමයි, අපේ අරමුණ වුණේ. ඇත්තෙන්ම අපව විමතියට පත් කරමින් එයාලා බොහෝ දෙනෙක් තමන්ගේ නිර්මාණාත්මක කලා කුසලතා අපිත් එක්ක බෙදාගන්නට උත්සුක වුණේ නොයෙකුත් නිර්මාණ රැසක් අප වෙත එවමින්.
“අඳුරු විනිවිද සඳ එළිය මත ඔබේ තරු ඇස් දූට සිනාසී පෙන්නුවා මගේ ජීවන මාවත පාරමිතා පිරුවා නම් සසරේ... ඉපදෙන්නට ඔබේ කුසේ ... මව්නි ඔබේ නෙතු අතරේ සිනා කැන් ආදර ගඟුලේ... සසර මඟ ගෙවා ඔබෙ දෝතට වැඩියා දෝ... ඔබෙ ළමැදේ කිරි සුවඳක් සෙව්වා දෝ... මගේ සිත් දෙවොලේ තබා ගෙන සදාකල්හි ම නුඹ ව අදහන නුඹේ සදාදර සුදු දෝණි මමයි අම්මේ...” - උමාෂි සෙව්වන්දි-
හරි අපූරුවට පද බඳින ලද තවත් මේ වගේ කවි පන්ති චලනි ධනංජනා, මිහින්දි කේශරා, සඳුනි අවිෂ්කා, කවීෂා විදුමිණි යන නංගිලාත් ලක්ෂාන් සහ තරිඳු සම්පත් යන මල්ලිලාත් අප වෙත එවා තිබුණා.
ඒ විතරක් නෙමෙයි, නොයෙකුත් මාතෘකා ඔස්සේ සාරවත් අදහස් ඉදිරිපත් කරමින් චිරති සෙඳිනි, සඳුනි අවිෂ්කා, විශ්ව ප්‍රභාත්, ලක්ෂාන්, අශාන් ප්‍රභාත් යන නංගිලා මල්ලිලා ලියූ අගනා රචනා කිහිපයක් ම අප වෙත ලැබී තිබුණා.
මීට අමතර ව හාස්‍ය රසය මනාවට මතුකරමින් හා නිර්මාණශීලී ව බස හසුරුවමින් තරුෂ මල්ලි රචනා කළ දෙබසත්, සඳුනි නංගි රචනා කළ නාට්‍ය පිටපතත් අප කාගෙත් අවධානය දිනාගන්නට සමත් වුණා. ඒ වගේ ම සිත් සේ සිතුවම් කර තිබුණු විසිතුරු චිත්‍ර ද, පටිගත කර එවූ ගීත ගායනා ද මේ නිර්මාණ ගොන්නට එකතු වුණා.
අහස කෙතරම් කළු වලාකුළුවලින් වැසී තිබුණත් තරු දිලිසෙන එක නවතන්නේ නෑ. වලාකුළු ඈත් මෑත් කර දිලිසෙන තරු ලොවට පෙන්නන්නට අවශ්‍ය වන්නේ මෙවන් සුළං පොදක් විතරයි.
ඉතින්, මේ නිර්මාණ දැක්මට ඉතාම උනන්දුවෙන් සහභාගි වෙලා ඔවුන් අතරම සැඟවිලා සිටි කලාකරුවන් හඳුනා ගන්නටත්, ප්‍රශංසා හා ඇගයුම් මැදින් තමන්ගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්නටත් ඒ නංගිලා මල්ලිලාට හැකි වන්නට ඇතැයි අපට නිසැකයි.
By Rtr. නිපුණි කඩුපිටිය
චලනි දනංජනා says
ඔයාලාට ගොඩක් ස්තුතියි …. අපිට අපේ නිර්මාණාත්මක හැකියා ඉදිරිපත් පත් කිරීමට අවස්ථාවක් ලබා දුන්නාට බොහොම ස්තූතියි අයියේ අක්කේ…….