සර්ප ලෝකය කියන්නේ සුන්දරත්වයෙන් පරිපූර්ණ, රූපීය සමානාත්මතාවයෙන් අනූන
විශ්මයජනක තෝතැන්නක්. ඒ නිසාවෙන්මයි දුටු සැනින් ඔවුන් වෙන්කර හඳුනා
ගැනීමත් එතරම්ම අපහසු. මනා අධ්‍යනයකින් මෙන්ම නිසි අවබෝධයකින් ද යුතුව
ඔවුන් පිළිබඳව හැදෑරීම මඟින් විෂ සහිත හා විෂ රහිත සර්පයින් හඳුනා ගැනීමෙන්
අකාලයේ විශේෂ වඳ වී යාම වලක්වා ගනිමින් සර්ප විශේෂ ආරක්ෂා කර ගැනීමට
අප සැමටම කළ හැක්කක්. මේ ප්රයත්නය ඒ වෙනුවෙන් දැනුම් දෝතක් පිරිනැමීමට…
කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන, Rotaract සමාජයේ සාමාජික
සාමාජිකාවන් මගින් මෙහෙයවනු ලබන “මිහිසර අස්න” මීළඟ ප්රයත්නයේ පරමාර්ථය
පුද්ගල දැනුමේ අඩුලුහුඬුකම් නිසාවෙන් ම දෛනිකව මිනිසා අතින් විනාශ වී යමින්
වඳ වී යාමේ තර්ජනයට ලක් වන්නා වූත්, එනමුත් ජෛව සමතුලිතතාවයට අතිශයින්
වැදගත්කමක් දරන්නා වූත්, සර්ප විශේෂ ගණනාවක් පිළිබඳව පාඨක ඔබව දැනුවත්
කිරීමටයි.
රූපීය අනුකරණය යනු සර්ප ලෝකය තුළ දැක ගත හැකි සුවිශේෂී ලක්ෂණයක්.
මෙය, ඔවුනගේම ආත්මාරක්ෂාව වෙනුවෙන් සොබාදහමින් ලත් විශ්මයජනක
දායාදයක් වුවත් එය වත්මන වන විට මිනිසා අතින් මිය යාමට බලපාන ප්‍රධානතම
සාධකය බවට පත් ව පවතී.
විද්‍යාත්මක අර්ථදැක්වීම්වලට අනුව, රූපීය අනුකරණය යනු පරිණාමීයව ඇති වන
ප්‍රවණතාවක් ලෙසින් අර්ථ දැක්වෙන අතර, එය විෂ සහිත හා විෂ රහිත විශේෂ
අතර පවතින සමීප සමානතාවයක් ලෙස ද හඳුන්වයි. ස්වාභාවික පරිසරයේ ඔවුනට
සිටින විලෝපිකයන් බිය ගැන්වීමට ඔවුන් විසින් භාවිත කරනු ලබන යම් රූපීය
උපක්‍රමයක් ලෙසින්ද එය අර්ථ දැක්විය හැකිය. නමුත් වර්තමානයේ, එය, මිනිසුන්
වන අපට නම් යම් කාණ්ඩයක විශේෂවලින් මාරක විෂ සහිත විශේෂ සහ විෂ රහිත
විශේෂ වෙන්කර හඳුනාගැනීමේ දී යම් අවිනිශ්චිතතාවයන්ට මුහුණ දීමට හේතුවන
කරුණක් බවට පත්ව ඇත.
තෙල් කරවලා
තෙල් කරවලා උග්‍ර විෂ සර්ප කාණ්ඩයට අයත් සර්ප විශේෂයක් වන අතර
පහත රට වියළි කලාපයේ බහුලව හමුවන සර්ප විශේෂයකි. මල්
රදනකයා, කබර රදනකයා සහ අළු රදනකයා මොවුන් රූපීය අනුකරණක්
දක්වන නමුත් ඔවුන් නිර්විෂ සර්ප විශේෂ වේ. තෙල් කරවලාගෙන් වෙන්කර හඳුනා ගැනීමට සුවිශේෂී වූ ලක්ෂණයන් රදනකයින් සතුව පවතී.
හොඳින් පිරිමැදි ආකාර වූ දිලිසෙන පෘෂ්ඨයක් සහිත, පෘෂ්ඨීයවව දීප්තිමත්,
කළු පැහැති හෝ කළු පැහැයට හුරු නිල් පැහැති වර්ණයක් ඇති,
සිලින්ඩරාකාර මධ්‍යම ප්‍රමාණයේ (වැඩුණු දිග සෙ.මී. 80-170 අතර) උග්‍ර විෂ
සර්ප විශේෂයක් ලෙසින් තෙල් කරවලා හඳුනා ගත හැක. රාත්‍රී කාලයේ දී
අතිශයින් ක්‍රියාශීලි, ජලාශ්‍රිත ස්ථානවලට වැඩි රුචිකත්වයක් දක්වන භෞමික
සර්ප විශේෂයක් වන මොවුන් නොකිපෙන සුළු නමුත්, කලබල වූ විට ශරීරය
පැතලි කොට දඟර ගැසී හිස එම දඟරය තුළ සඟවා ගැනීමට තැත් කරන
ආකාරයක් හඳුනා ගත හැකිය. පැහැදිලිව වෙන් වූ ගෙලක් නොමැති අතර
වටකුරු හා කෙටි හොම්බක් දක්නට ලැබේ. ශරීරයේ දිගටම සිහින් සුදු
පැහැති හරස් පටි යුගල් පිහිටා පවතින මොවුන්ගේ වයස්ගත සර්පයන් සතුව
මෙම පටි දක්නට ලැබීම යම්තාක් දුර්ලභ ලක්ෂණයකි. විශේෂ හඳුනාගැනීමේ
සලකුණක් වන්නේ කොඳු නාරටිය දිගේ පිහිටා ඇති විශාල ෂඩාස්රාකාර
කොරල සමූහයයි.
මල් රදනකයා
පෘෂ්ඨීය වර්ණය දුඹුරු පැහැ වන අතර, කහ පැහැති හරස් දාර ශරීරය දිගේ
පිහිටා පවතී.
කබර රදනකයා
මහත සුදු පටි හා V අක්ෂරයේ ආකාරයෙන් දෙපසට බෙදීයන සලකුණු ශරීරය
දිගේ පිහිටා ඇත.
අළු රදනකයා
පෘෂ්ඨීය වර්ණය දුඹුරු, අළු මිශ්‍ර දුඹුරු හෝ කළු පැහැති වන අතර දේහයේ
හරස් අතට තද දුඹුරු පැහැති තිත් සහිත අපැහැදිලි දාරයකින් සීමා වූ සුදු
පැහැති පටි රැසක් දැක ගත හැක.
මුදු කරවලා
තෙත් කලාපයේ සහ අතරමැදි කලාපයේ ඇතැම් ප්‍රදේශයන්හි දැක ගත
හැකි මුදු කරවලා ද උග්‍ර විෂ සර්ප විශේෂයකි. නමුත් මොවුනට රූපීය
අනුකරණය දක්වන්නා වූ දාර රදනකයා හා ගැට රදනකයා යනු උග්‍ර විෂ
සර්ප කාණ්ඩයට අයත් සර්ප විශේෂයන් නොවේ.
පිරිමැද්දාක් මෙන් දිලිසෙන මතුපිටින් ඇති, පෘෂ්ඨීයව දීප්තිමත්, තද දුඹුරු
පැහැති හෝ කළු පැහැති වර්ණයෙන් යුත්, සිලින්ඩරාකාර මධ්‍යම ප්‍රමාණයේ
(වැඩුණු දිග සෙ.මී. 80-100 අතර) උග්‍ර විෂ සර්ප විශේෂයක් ලෙසින් මුදු
කරවලා හඳුන්වයි. රාත්‍රී කාලයේ දී අතිශයින් ක්‍රියාශීලී වන මොවුන් දිවා
කාලයේදී දිරා ගිය කොළ රොඩු වැනි උණුසුම් ස්ථානවල අලසව කල් ගත
කරයි. බොහෝවිට සපාකෑමට තැත් නො කරන නමුත්, කලබල වූ විට හිස
සඟවා ගැනීමට තැත් කරන ආකාරයක් දැක ගත හැක. පැහැදිලිව වෙන් වූ
ගෙලක් නො මැති මොවුන්ගේ වටකුරු හා කෙටි හොම්බක් දැකගත හැකිය.
ශරීරයේ දිගටම සිහින් සුදු පැහැති තනි හරස් පටි පිහිටා පවතියි.
දාර රදනකයා
නෞතල සහිත දේහ කොරල පිහිටා ඇති එකම රදනක විශේෂය නිසාවෙන්
මොවුන් පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකිය.
ගැට රදනකයා
ගෙල ප්‍රදේශය තරමක් තුනී වීම නිසාවෙන් වෙන් කර හඳුනාගත හැකි
ආකාරයේ හිසක් පවතියි. පෘෂ්ඨීය වර්ණය තද දුඹුරු හෝ කළු පැහැ වන
අතර සුදු හෝ කහ පැහැති හරස් පටි දේහය දිගට පිහිටයි. මෙම පටිවල
මධ්‍යය දුඹුරු පැහැයක් උසුලයි.
ගැට රදනකයා
ගෙල ප්‍රදේශය තරමක් තුනී වීම නිසාවෙන් වෙන් කර හඳුනාගත හැකි
ආකාරයේ හිසක් පවතියි. පෘෂ්ඨීය වර්ණය තද දුඹුරු හෝ කළු පැහැ වන
අතර සුදු හෝ කහ පැහැති හරස් පටි දේහය දිගට පිහිටයි. මෙම පටිවල
මධ්‍යය දුඹුරු පැහැයක් උසුලයි.
උග්‍ර විෂ සහිත කරවලුන් හා ඔවුන්ට රූපීය අනුකරණයක් දක්වන නිර්විෂ
රදනකයින්ව හඳුනාගැනීමේ ප්‍රධානතම සාධකය නම් ඔවුන්ගේ ශරීරයේ පිට
පැත්තේ දිගට පිහිටන කොරල සමූහයයි. මෙමඟින් ඔබට ඔවුන් පැහැදිලිව
වෙන් කර හඳුනා ගත හැක.
උග්‍ර විෂ සහිත කරවලුන්
මොවුනගේ කශේරුකාව දිගේ දිවෙන විශාල ෂඩාස්රාකාර හැඩැති කොරපොතු,
කැපී පෙනෙන ලෙසින් පිහිටයි.
නිර්විෂ රදනකයන්
පෘෂ්ඨීය කොරපොතු සමාන හැඩයෙන් යුතු වන අතර, විශේෂයෙන්
කැපීපෙනීමක් දක්නට නො මැත.
තිත් පොළඟා (Russell’s Viper)
තිත් පොළඟා ද උග්‍ර විෂ සර්ප කාණ්ඩයට අයත් සර්ප විශේෂයක් වුවත් මොවුනට
රූපීය අනුකරණයක් දක්වන වැලි පිඹුරා හා පිඹුරා යන සර්ප විශේෂ ද්විත්වයම
නිර්විෂ කාණ්ඩයට අයත් සර්ප විශේෂයන් ය. පහතින් දැක්වෙනුයේ ඒ ඒ සර්ප
විශේෂ සතු වූ සුවිශේෂී ලක්ෂණයන් කීපයකි. මෙමඟින් ඔබට උග්‍ර විෂ තිත්
පොළඟාගෙන් නිර්විෂ වැලි පිඹුරා හා පිඹුරා වෙන් කර හඳුනා ගැන්මේ හැකියාවක්
පවතී.
කෙටි (වැඩුණු දිග සෙ.මී. 80-130) පෘෂ්ඨිමත් සිලින්ඩරාකාර ශරීරයක් ඇති උග්‍ර
විෂ සහිත තිත් පොළඟා ප්‍රධාන වශයෙන් රාත්‍රී කාලයේ දී දැක ගත හැකි වුව
ද, දිවා කාලයේ ද සැරිසරනු දැකිය හැකි භෞමික සත්ත්ව විශේෂයකි. විශාල
ත්‍රිකෝණාකාර පැතලි හිස මත පිහිටි සුදට හුරු V අක්ෂරයේ ආකාරයේ දාරය
මෙන්ම පැහැදිලි ගෙල මඟින් ද මොවුන්ව පහසුවෙන් වෙන්කර හඳුනාගත
හැක. කහ පැහැයට හුරු වු දුඹුරු පැහැති ශරීරයක් ද, දිගු අතට දම්වැලක
ආකාරයට සැකැසුණු පැහැදිලි පුල්ලි පේළි තුනක් ද දක්නට ලැබෙන මෙම
සර්ප විශේෂය මත පිහිටන එම පුල්ලි, තද දුඹුරු පැහැයක් දරයි. ඒවා කළු
දාරයකින් හා ඊටත් පිටින් පිහිටි සිහින් සුදු දාරයකින් වටව පවතී.
වැලි පිඹුරා
පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි රටාවක් සමෙහි පෘෂ්ඨීය තලය මත
දැකීමට නො හැකි මොවුන්ගේ පැහැදිලි ගෙලක් ද දැක ගත නො හැක.
පිඹුරා
පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි රටාවක් සමෙහි පෘෂ්ඨීය තලය මත
දැකීමට නො හැකි මොවුන්ගේ හිස බොහෝවිට රෝස පැහැයට හුරුතාවයක්
දක්වයි.
වැලි පොළඟා (Saw Scaled Viper)
වැලි පොළඟා ද අයත් වනුයේ උග්‍රවිෂ සර්ප කාණ්ඩයට ය. එනමුත්,
මොවුනට රූපීය අනුකරණයක් දක්වන රෑන් මාපිලා නම් සර්ප විශේෂය
නිර්විෂ සර්ප කාණ්ඩයට අයත් සර්ප විශේෂයකි.
කුඩා (වැඩුණු දිග සෙ.මී 30-50) පෘෂ්ඨිමත්, සිලින්ඩරාකාර ශරීරයක් ඇති උග්‍ර
විෂ සර්පයෙකු වන වැලි පොළඟා සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ දී වඩාත්
ක්‍රියාශීලී වේ. කියත් දැති මෙන් පිහිටි කුඩා කොරපොතු සහිත මෙම සර්ප
විශේෂය ඉක්මනින් කිපෙන, කලබල වු විට කොරපොතු ඇතිල්ලීමෙන්
ශබ්දයක් නගන සර්ප විශේෂයකි. ප්‍රධාන වශයෙන් භෞමීය වුවද උෂ්ණත්වය
සඳහා රාත්‍රියෙහි පඳුරු, තාර පාරවල් වැනි ස්ථානයන්ට ඇදී එයි. වැලි කඳු හා
ශුෂ්ක කලාපීය ලඳු කැළෑ ආශ්‍රිතව ද හමු වේ. සුදට හුරු හී තුඩක් හෝ කුරුලු
පාදයක් වැනි සලකුණක් හිසෙහි දක්නට ඇති අතර පෘෂ්ඨීයව අළු, ලා දුඹුරු,
හෝ තද දුඹුරු පැහැයක් ගනී.
රෑන් මාපිලා (Common Indian Cat Snake)
කළු හෝ දුඹුරු පැහැති දාරයකින් වටවුණු සුදු පැහැයට හුරු V අක්ෂර හැඩැති
පුල්ලි පේළියක් ශරීරය මත දක්නට ලබන මොවුන් ද භෞමික සර්ප විශේෂයකි.
නාගයා
උග්‍ර විෂ නාගයින්ට රූපීයව සමානාත්මතාවයක් නිර්විෂ ගැරඬි පැටවුන්
දක්වයි. මෙනිසාම නිර්විෂ ගැරඬියා, උග්‍ර විෂ නාගයා ලෙසින් වරදවා හඳුනා
ගැනීමෙන් පරිණත වීමට ප්‍රථයෙන් ම විනාශ වී යයි. නාගයින් හා ගැරඬින්
වෙන් කර හඳුනා ගැනීමට ලක්ෂණ බොහොමයක් ඇතත්, ඒ පිළිබඳ ඇති
අල්ප දැනුම නිසාවෙන් මොවුන් තර්ජනයට ලක් වේ.
දිගු (වැඩුණු දිග සෙ.මී. 100-150) කැපී පෙනෙන ගෙලක් සහිත උග්‍රවිෂ සර්ප
විශේෂයක් වන මොවුන් ප්‍රධාන වශයෙන් දිවාචර වුවද, රාත්‍රී කාලයේ ද ඇතැම්
විට දැක ගත හැක. භෞමීය වුව ද තරමක් දුරට ගස් නැගීමට සහ පිහිනීමට
ද හැකියාවක් පවතී. ජලය ආශ්රිත ස්ථානවලට වැඩි රුචිකත්වයක් දක්වන
මොවුන් වියළි කාලයේ දී හුඹස් සහ ගල් තුළ ද, වැසි සමයන්හි දී වැඩි
කාලයක් කුඩා ගස් හා පඳුරු මත ද වාසය කරයි. අතිශයින් ක්‍රියාශීලී සර්ප
විශේෂයක් වන මොවුන්, කලබල වූ විට පලායාමට තැත් කරයි. එසේ
පලායාමට නො හැකි අවස්ථාවන්හි දී සිරුරෙන් 1/3 ක පමණ කොටසක්
ඉහළට ඔසවා, පෙනය පුප්පා, පිඹින ශබ්දයක් පිට කර ප්‍රතිවාදියා බිය
ගන්නවා පලා යාමට තැත් කරයි. ඇතැම් විට පහර දීමට ද පෙළඹේ.
වර්ණයෙන් තද දුඹුරු හෝ කළු පැහැ වන මොවුන්ගේ සුදු පැහැති හරස් ඉරි
තනිව හෝ යුගල වශයෙන් ශරීරයේ දිගටම පිහිටා ඇති අයුරු දැක ගේ හැක.
නාගයා යන උග්‍ර විෂ සර්ප විශේෂයට වර්ණයෙන් සමානාත්මතාවයක් දැක්වුවත්
මතක තබා ගත යුතු වැදගත්ම කරුණ නම්, ගැරඬි පැටවුන් යනු මෙකී ලක්ෂණ
දැරුවද නිර්විෂ සර්ප කාණ්ඩයට අයත් සර්ප විශේෂයක් බවයි. එබැවින් නිර්විෂ
ගැරඬියන් විනාශ නොවීමට නම් ඔවුන් පිළිබඳව ද මනාව අධ්‍යනය කිරීම වැදගත්
වේ.
ගැරඬියා
ඉතා දිගු ශරීරයක් දරන මොවුන්ගේ වැඩුණු සත්වයන් සැලකූ විට බොහෝවිට
ඔවුන්ගේ ශරීරයේ පූර්ව කොටසේ කිසිදු කැපීපෙනෙන සලකුණක් දක්නට නොලැබේ.
මුඛය සහ ගෙල ආශ්රිත කොරල වල තද කළු පැහැ දාරවල් පැහැදිලිව දැක ගත හැකි
අතර හැසිරීම බොහෝවිට නාගයාට සමාන වේ. නමුත්, කලබල වූ විට දුර්ගන්ධවත්
ස්‍රාවයක් පිට කරයි.
මෙවන් සුවිශේෂී ලක්ෂණ බොහොමයක් දරන මොවුන් සුපරීක්ෂාකාරී
වුවහොත් වෙන්කර හඳුනා ගැනීම එතරම්ම අපහසු කටයුත්තක් නො වන බව
ද මතක් කරනුයේ මොවුන් බොහොමයක් මිය යාමට හේතුව අපගේම දැනුමේ
ඇති අඩුලුහුඬුකම් නිසා බව ද අවධාරණය කරමිනි. ගෙම්බන්, මීයන් මෙන්ම
කටුස්සන් හා කුරුල්ලන් ද ආහාරයට ගනු ලබන ගැරඬියන් හා රදනකයන්
යනු ඕනෑම වගාවකට අත්‍යාවශ්‍ය ම වන්නා වූත්, පරිසර සමතුලිතතාවයේ බර
උසුලන්නා වූත් කාබනික වගාවේ වගා මිතුරෙකු ලෙසින් ගැමියන් අතර
සුප්‍රසිද්ධ සර්ප විශේෂ ද්විත්වයකි. ස්වභාවධර්මයාගේ අපූර්ව නිමැවුම් අතරින්
නිර්මාණය වී ඇති මොවුන් විලෝපිකයන් ලෙස හැඳින්වුව ද, මේ සෑම ජීවී
විශේෂයක් ම පරිසර සමතුලිතතාවය තුළ නිරූපණය කරනුයේ සුවිශේෂී
ස්ථානයකි. එනිසාවෙන් ම කළ යුත්තේ පැහැදිලිව ඔවුන්ව අධ්‍යනය කර
ඔවුන්ව පරිසරය තුළ සුරක්ෂිත කරමින් ඔවුන්ගෙන් ආරක්ෂා වීමට ක්‍රියාමාර්ග
ගැනීම මිසෙක දුටු දුටු තැන සර්පයන් මරා දමා ඔවුන් විනාශ කරලීම නො
වන බව සැවොම වටහා ගත යුතු කරුණකි. එබැවින් මොවුන් විනාශ කිරීමට
පෙර දෙවරක් නොව දස දහස් වාරයක් සුපරීක්ෂාකාරී වෙමින් පරිසරයට
අගනා සර්ප විශේෂ අනාගතයටත් සුරක්ෂිත කරලීමට අපි සැම වගකීමෙන්
කටයුතු කරමු.
By Rtr.B. G. Hashini Madhushani
Image credits: , , , , , , , , https://bit.ly/3woxX0L , https://bit.ly/342FZQH , https://bit.ly/2RtV23x , https://bit.ly/3wqIR6k , https://bit.ly/2S9PYRH
References
- සෝමවීර, R. (2006). ශ්‍රී ලංකාවේ සර්පයින්. Colombo, Sri Lanka: WHT
Publishers (Pvt) Ltd. - Wickramasinghe, L.J. Mendis (2014). Recognizing Deadly Venomous Snakes
from Harmless Snakes of Sri Lanka. Colombo, Sri Lanka: Ceylon Tea
Services PLC.
Leave a Reply