ලොවට මුවා වී සැඟවී සිටින්නෙමි
දිවිය පුරා සයුරුහිමි උණුසුම ලබන්නෙමි
මගේම යහළුයෙහෙළියන් හා රැඳෙන්නෙමි
ඔබ හා දොඩමළු වන මම කොරල් පරයක් මි
දුටුවන් මන බඳින රූසපුවක් හිමිවුව ද
එය ඩැහැගන්න තතනන ඇස් කොපමණ ඇත් ද
විනාශය නිහඬව වැළඳගනු විනා අද
දෛවය අපට අන් කිසි මගක් ඉතිරි කර නැති ද
කම්හල් දියුණුවේ හිනිපෙත්තට නගින විට
සොබාදමට නපුරුකම් ඇයි මේ ලෙසට
නීති පනත් සීමා වී අද පොත්වලට
කිසිවෙක් නැතිද අප වෙනුවෙන් හඬ නගන්නට
By Rtr. චලනි විජමුණිගෙ
සාගර පතුල සරසන සොබාදහමේ අපූරු නිර්මාණයකි,කොරල් ජීවීන්. සංචරණය කළ නොහැකි වුව ද ඔවුන්ද අප විලස ආශ්වාස ප්රාශ්වාස කරමින්,ආහාර ගනිමින් ජීවය පවත්වා ගෙන යන ජීවීන් කොට්ඨාසයකි. මත්ස්යය සම්පත සුරකිමින් වෙරළ සංරක්ෂණය උදෙසාද යෝධ ශක්තියක් වන මෙම කොරල් බුහුබාවන් සාගර සම්පත සුරකින මහා රැකවලෙකි.රට වට කර ඇති මහ සයුර නිසා ශ්‍රීලංකාවද මෙම අගනා කොරල් සම්පතට හිමිකම් කීමට තරම් වාසනාවන්ත වී ඇත. පාරිසරික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද මිල කළ නොහැකි වටිනාකමක් ඇති මේ සොබාදහමේ අපූරු දායාදය වර්තමානයේ අතිශය ඛේදනීය ඉරණමකට මුහුණදෙමින් සිටියි.
ඩයිනමයිට් හා සයිනයිඩ් ආදිය හාවිතයෙන් කොරල් පර පුපුරවා හැරීම, ධීවරයින් මසුන් මැරීමට යොදන විවිධ රසායනිකයන්, සංචාරකයින් ගමන් ගන්නා බෝට්ටු ආදියෙන් සිදුවන පළුදුවීම් මෙන්ම විසල් කර්මාන්තශාලා වලින් නිකුත් කරන අපද්‍රව්‍ය මහ මුහුදට මුදා හැරීම වැනි ක්‍රියාකරකම් හේතුවෙන් මෙම කොරල් සම්පතෙහි පැවැත්ම ගෝලීය වශයෙන් දැඩි
තර්ජනයකට ලක්ව ඇත.විවිධ පටු අරමුණු මුදුන්පත්කර ගැනීම උදෙසා සොබාදහම අනතුරේ හෙළීම සැබැවින්ම කිසිවෙක් සිහිනෙන් හෝ නො පතන ලෝක විනාශයට අත වැනීමකි. මන්දයත්,සොබාදහම් නීතියට අවනත නොවීම අවසන ගෙනදෙන්නේ විනාශයම පමණක් නිසාවෙනි.සාගර සම්පත් රැක ගැනීමට
පිහිටුවා ඇති නීති පනත් ද අද ලේඛනවලට පමණක් සීමා වී ඇති සමයක මේ අසාධරණයට එරෙහිව හඬ නගන්නන්ද නිහඬ කරවීමට බලවේග ක්‍රියාත්මක වීම කෙතරම් අවාසනාවක් ද? අනෙක්පසින් මුදල පමණක් හඹා යන ලෝකයක
ස්වාභාවධර්මයට මෙවන් ඉරණමක් අත්වීමේ අරුමයක් ද නැතැයි විටෙක හැඟෙයි. නමුදු , සොබාදහමට පිටුපා මේ යන අතිධාවනකාරී ගමනේ කෙළවර වැනසීමම පමණක් වග ලෝකයාට අප්‍රමාදව වැටහේවා ය යන්න අවසන මගේ පැතුමයි.
Image credit:
Leave a Reply