ඔට්ටු වෙලා මැසිමත් එක්ක දවසම
කකියනවා දෑඟිලි පතුල් සරුවාංගෙම
හිත සසලයි ඊට වඩා මැවෙද්දි පටු පාර
“ගාමන්ට් කෑල්ල” වුණේ මේ කෙල්ල
කෑලි ගාණට අයිටම් මැහුව හින්ද ද?
ගැහුවම විසිල් ඉඳගෙන රෝද දෙක උඩ
හිතුවෙ කාසි ළඟ විකිණෙනවා කියල ද?
යන්නං අදත් බිම බලං වගේ හැමදාම
බයෙන් ඇති එනකං තාත්තත් ඔත්පල
අම්මත් කණයි ඉදං දැන් ටික දොහක
කියන්න, ගාමන්ට් ගිය එක මගේ වරද ද?
_පවන්ති සුදසිංහ_
“ගාර්මන්ට්” නැතිනම් ඇඟලුම් කම්හල් යනු අපේ රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන මාර්ගයක් බැව් අප සැම දන්නා කරුණකි. කෙසේ නමුත් මෙම කර්මාන්ත ශාලාවන්හි සේවය කරන බොහෝ තරුණියන්ගේ ජීවිත කතාව ඔවුන් රටට ගෙනෙන සම්පත් මෙන් සුන්දර නැත. සමාජය ඔවුන් දෙස බලන කෝණයද ඔවුන්ට එතරම් සුබදායී නැත. වැඩි දුර අධ්‍යාපනයක් නොලත්, වරදකට ලේසියෙන් පොලඹවා ගත හැකි පිරිසක් ලෙස සමාජය ඔවුන්ව දුටුවද සත්‍ය වශයෙන්ම එය එසේ නොවේ ය.
පවුලේ අඟහිඟකම් පියවා ගැනීමට කාටවත් අත නොපා හිතේ හයියෙන් මැසිම පාගන ස්ත්රීන්ට උදාහරණ මේ සමාජයේ අපමණ ය. උසස් පෙළ ඉහළින්ම සමත්ව විශ්ව විද්‍යාලයට පිවිසෙන තෙක් කාලය තුළ ඇඟලුම් හල් වල සේවයට යන සිසුවියන්ද ඕනෑ තරම් ය.
නියැළෙන රැකියාව අනුව කිසිවෙකුට චරිත සහතික දිය නොහැකි ය. “කාන්තාව” යන කාරණයේදී ඒ පිළිබඳව අප සමාජය විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු ය. මන්ද යත්, ස්ත්‍රියකට “ආත්මගරුත්වය” යනු වටිනාම ආභරණයක් වන බැවිනි.
මේ එවැනි සමාජය තුළ අපකීර්තියට පත්වූ රැකියාවන් වල නියැළීම නිසා අපහසුතාවයට පත්වන ඇය වෙනුවෙන්.
Leave a Reply