අසුනක අසුන්ගත් කල වෙහෙස ම වීලා
අසලක ඉඳන් පිරිමදිමින් මද කිපිලා
වාරුව ගනී උන් ළඳුනට බර තියලා
හිටගෙන යන කලට ඇය කණුවක් කරලා
තුන්වැනි පංතියේ තෙරපෙන විට මැද්දේ
අඹුවගෙ කරට දැමු අත වෙනතක ඇද්දේ
නිදහස රැකවරණ නැත අද කෝ සද්දේ
නිලමැසි දුගඳ දුදනෙකි කරදර විද්දේ
_ සහශ්‍රා දිනසිරි _
පොදු ප්‍රවාහන සේවය වනාහි, කුඩා පාසල් දැරියගේ පටන් මහලු කාන්තාව දක්වා විවිධ වයස්වල, විවිධ තරාතිරම්වල කාන්තාවන් භාවිත කරන ප්‍රවාහන මාධ්‍යය යි. මැණිකක් අතැති කාන්තාවකට කිසිදු උපද්‍රවයකින් තොරව රාත්‍රියේ පවා ගමන් කිරීමට හැකියාවක් තිබුණේ’ යි සම්මත ව තිබූ ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ පාසල් දැරියකට පවා පොදු ප්‍රවාහන සේවය අනාරක්ෂිත වන මට්ටමටම අද මිනිස් සිතුවිලි පිරිහීමට පත් ව ඇත. වර්තමානය වන විට පොදු ප්‍රවාහන සේවය යනු, කාන්තාවන්ට හිරිහැර වැඩි වශයෙන් සිදුවන ස්ථානයක් බවට පත් ව ඇත. අනවශ්‍ය ස්පර්ශ කිරීම්, වාරු වී සිටීම් ආදී ශාරීරික හිංසනයන් පමණක් නොව අසැබි හැඟුම් ජනිත කරවන වදන් පැවසීම්, අනවශ්‍ය විහිළු කිරීම් ආදී මානසික හිංසනයන් පවා සිදුකොට කාන්තාවන්ට හිරිහැර කරන පරපීඩක මානසිකත්වයෙන් යුත් පෞරුෂ හීන ජීවීන් ඉන් ලබන තෘප්තිය මඟින් පිළිබිඹු වන්නේ ඔවුන්ගේ මානසික මට්ටමේ ඇති පහත් බව නොවන්නේ ද? දුම්රිය තුළ දී බස් රථය තුළ දී එලෙස හිරිහැරවලට බඳුන් නොවූ එකදු කාන්තාවක් හෝ සොයා ගැනීමට හැකි වේද යන්න සැක සහිත ය. මෙහි ඇති ඛේදනීයම තත්ත්වය වන්නේ තම සහෝදර ශිෂ්‍යාවන්ට මෙසේ හිරිහැර කිරීමට පෙළඹී සිටින පාසල් ශිෂ්‍ය ප්‍රජාවක් වත්මන වනවිට බිහි වී තිබීමයි. ඔවුන් සිදු කරන ඒ හිරිහැර සාධාරණීකරණය කිරීමට ද එවන් හිරිහැර දකින විට නෑසූ කන් ව නුදුටු ඇස් ව බලා හිඳීමෙන් ද නොනැවතී හිරිහැරයට බඳුන් වන කාන්තාවට දෝෂාරෝපණ කිරීමට ද සමාජයේ සිතුවිලි නොමිනිස් වී තිබීම සැබැවින් ම කණගාටුදායක ය. අවම වශයෙන් ළමා හෝ තරුණ පරපුරවත් මෙම මානසිකත්වයෙන් මුදවා ගැනීමට නොහැකි වුවහොත් මෙවන් වර්තමානයක් තුළ කාන්තාවන් සඳහා සුරක්ෂිත හෙටක් පිළිබඳ සුබ සිහින, හුදෙක් සිතිවිලි මාත්‍රයක් පමණක්ම වී වියැකී යනු ඇත.
Leave a Reply