ඔක්තෝබර් 10 වෙනිදාට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් මෙවර “සියදිවි නසා ගැනීම වැළැක්වීම” කියන තේමාව විසින් තෝරගැනීම හරිම කාලෝචිතයි. මනුෂ්‍ය ඉතිහාසය පුරාම මේ ගැන සුපුරුදු කතාබහක් ගොඩනැගුණා වුණත් පසුගිය දශක කිහිපයේ සියදිවි නසා ගැනීමේ වාර්තා ඉහළ යන්නේ තරුණ ප්‍රජාව මත රතු එළියක් ඉතිරි කරවමින්.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරන වාර්තා වලට අනුව වසරකට සියදිවි නසා ගැනීම් ලක්ෂ අටකට වඩා වාර්තා වෙනවා. මේ මරණ වලට ලෝකය පුරා විවිධ රටවල් වල, විවිධ වයස් වල, විවිධ අධ්‍යාපන මට්ටම් වල පිරිස ඇතුළත්. ගෘහස්ථ ප්රචණ්ඩත්වය, ලිංගික අපයෝජනය, සහ විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා සිදුවන අපයෝජනයන් මෑත කාලීනව වාර්තා වෙන සියදිවි නසා ගැනීම් වලට ප්‍රධානම හේතු බවයි සඳහන් වෙන්නේ.
මේ දත්ත, වාර්තා සහ හේතු පැහැදිලි කිරීම් පැත්තකින් තියලා, සියදිවි නසා ගන්න හිතුණු එක අවස්ථාවක් වත් ඔයාගේ ජීවිතේ නැද්ද කියලා මම ඇහුවොත්? සමහරවිට ඔයා ඔයාගේ ජීවිත කාලෙම ගත කරන්න ඇත්තේ සියදිවි නසාගන්න තරුණ ජීවිත වලට බයගුලු, මෝඩ ලේබල් අලවමින් වෙන්න පුළුවන්. නමුත් ඒ කඩාවැටීම් ඇත්තටම අත්විඳින්න සිද්ධ වෙනකල්, ඒක මොනතරම් කටුක අත්දැකීමක්ද කියලා ඔයා දැනගන්න එකක් නැහැ. සියදිවි නසාගන්න අයව හෑල්ලු කරලා සලකන තාක් ඔයාට මේ තත්වයේ බරපතලකම කවදාවත් තේරුම් ගන්න ලැබෙන්නෙත් නැහැ.
තරුණ ප්‍රජාව අතරින් අතිශය බහුතරයක් විවිධ කාල පරාස වලදී මානසික කඩාවැටීම් සහ විවිධ අපහසුතා එක්ක සටන් කරනවා. නමුත්, හොඳ යාළුවෝ, නිවැරදි උපදේශනය සහ ජීවත් වෙන්න තියන වාසනාවත් එක්ක ඒ අය තවමත් හුස්ම ගන්නවා. ජීවිතය ගැන ලොකු කතා කියන දාර්ශනිකයන්ට වඩා ඒ අය අපිට ලස්සන පාඩම් කියලා දෙනවා.
සමහර දවස් එනවා අපි කාමරයක් ඇතුළේ අපිව හිරකරගෙන, කොතනද වැරදුණේ, කොහොමද වැරදුණේ කියලා හිතාගන්න බැරුව මතක පීර පීර උත්තරයක් හොයන. හැම බලාපොරොත්තුවක්ම කඩාවැටුණට පස්සේ, කිසිම පිළිසරණක් නැතිව වේදනාවෙන් ගුලි වෙලා ඊළඟ දවසේ ඉර පායන එකටත් වෛර කරන. ඔයා මොනතරම් උගතෙක් වුණත් මේ වගේ දවසක් ඔයාටත් එන්න පුළුවන්, මරණය සැනසීමක් කියලා හිතෙන. හැබැයි ඒ වෙලාවට මෙන්න මේ දේ අමතක වෙන්න දෙන්න එපා. ඔයාට කලින් ඔය ප්‍රශ්නයට මුහුණදෙන්න සිද්ධ වුණු අය ඕනතරම් මේ ලෝකෙ ඉන්නවා. ඒ අයගෙන් අතිශය බහුතරයක් අද තවමත් ජීවත් වෙනවා. ඔය කටුක සිදුවීම අද ඒ අයගේ ජීවිත වල තවත් එක මතකයක්, අත්දැකීමක් විතරයි. ගෙවෙන හැම මොහොතක්ම එකතු වෙන්නෙ අතීතයට. ඒ නිසා ඒ අතීතය අගුළු දාලා අලුතින් පටන් ගන්න හැම තත්පරයකම ඔයාට පුළුවන්.
ජීවිතේ එක කාලෙකදි කඩාගෙන වැටුණු මිනිස්සු තමයි භයානකම වගේම ශක්තිමත්ම මිනිස්සු. මොකද ඒ අය දන්නවා එක පාරක් නැගිටපු විදිහටම වැටුණු තැනින් ආයෙමත් නැගිටින්න. ඒ නිසා ඔයා යම්කිසි ප්‍රශ්නයක් එක්ක සටන් කරනවා කියන්නේ ඔයා පීඩිතයෙක් කියන එක නෙවෙයි. ඔයා සෙබළෙක්. ඔයා සටන් කරන්නේ දිනන්න මිසක් ප්රශ්නයයි ජීවිතයයි දෙකම අතහැරලා පැනලා යන්න නෙවෙයි.
සියදිවි නසා ගැනීම් වලට වගේම මානසික කඩාවැටීම් වලටත් ප්‍රධානම හේතුව ඇත්තටම අපි පිටින් දකින දේ නෙවෙයි. සරලවම කියනවා නම් ඔයාට මැරෙන්න හිතුණොත්, ඒකට හේතුව ඔයා ආදරය කරපු කෙනා ඔයාට නැති වුණ එකවත්, අඩු GPA එකවත් නෙවෙයි. හේතුව ඔයා ඔයාගේ වටිනාකම තේරුම් නොගැනීම විතරමයි. බාහිර පුද්ගලයෙක් හෝ දෙයක් ඔයාව ඇදලා බිමට දාන හැම වතාවකම ආයෙත් නැගිටලා පෙන්නන්න පුළුවන් තරම් ඔයා ශක්තිමත්. ප්රශ්නය තියෙන්නේ ඔයා ඒකට ටිකක් වත් උත්සාහ නොකරන එක විතරයි.
ඕනම ප්‍රශ්නයකදී ඒකට මුහුණ දෙනවද, පරාජය භාරගන්නවද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ.
ජීවිතය නැති කරගන්න තරම් ආවේගයක් ඇති වුණාම වුණත් වෙනසක් නැහැ. මැරෙනවද ජීවත් වෙනවද කියලා තීරණය කරන්නේ ඔයයි. ඔයාට ඇත්තටම ජීවිතෙන් වැඩක් නැත්නම්, ජීවිතයක වටිනාකමක් තියන බොහෝ පිරිසක් වෙනුවෙන් ඔයාට ඔයාගේ ජීවිතේ වෙන් කරන්න පුළුවන්. ටිකක් හොයලා බැලුවොත් කාගේහරි උපකාරයක් බලාපොරොත්තුවෙන් ඉන්න ගොඩක් දෙනෙක් ඔයාට හොයාගන්න බැරි වෙන එකක් නැහැ. ඒ වගේම අවුරුදු කිහිපයකට පස්සේ ඔයා ගත්ත ඒ තීරණය ගැන ආඩම්බර නොවී ඉන්න එකකුත් නැහැ.
ලස්සනම දවස් උදා වෙන්නේ සුළි කුණාටු හමාගෙන ගිය රැයකට පස්සේ. ඉතින් ඔයා දැන් ඉන්නේ කුණාටුවකට අහු වෙලා නම්, මතක තියාගන්න ලස්සනට ඉර පායන, කුණාටුවක සේයාවක් වත් හොයාගන්න නැති දවස් ඔයාගේ ඉස්සරහා තියනවා. ඒ දවස් දකින්න නම් ඔයාට ජීවත් වෙලා ඉන්නම වෙනවා.
–නිම්තරා සෙනවිරත්න-
Leave a Reply