මීමුරේ කියන්නෙ දුම්බර මිටියාවතේ කඳු වළල්ලකින් වටවෙච්ච සුන්දර හුදකලා ගම්මානයක්. ඊට එක්වුනු සරලකමත් එක්ක සොබාදහමේ අසිරිය නිදහසේ විඳින්න වගේම හුරුපුරුදු නගරයේ කලබලකාරී පරිසරයෙන් මිදිල පොඩි විවේකයක් ගන්නත් කියාපු තැනක්. නොගියපු අය යන්න හීන මවන තැනක්… දවස් කිහිපයකට කලින් මේ සටහන ලියන මාත් හිටියේ ඒ හීන මවන අය අතරේ .මගෙත් මාත් එක්ක ඒ ගොඩේ හිටිය අපේ විශ්ව විද්‍යාලයේ අපිත් එක්ක ඉගෙනගන්න සහෝදර කැළකගෙත් ඒ හීනයට නොහිතපු විදිහකට පණ ලැබුණ හුදු හීන හැබෑවකින් ඔබ්බට ගිය වටිනාකම් රාශියකුත් අපේ ජීවිත වලට එකතු කරමින්.
ඒ කතාවෙ පටන් ගැන්ම සිදු උනේ වෙනම ඉසව්වකින්.පසුගිය පෙබරවාරි මස මීමුරේ ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමකගේ වැඩමවීමෙන් අප විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල සුමධුර දම් දෙසුමක් පවත්වන්න ට යෙදුනා.එය වෙනද අහපු සම්ප්‍රාදායික බණකට වඩා වෙනස්, අපි කාටත් වැදගත් වෙන විදිහට ජීවිතේ විඳවන් නැතුව විඳින්නට හිතන විදිහ වෙනස් කරන්නෙ කොහොමද කියල සරල බසින් විස්තර කරපු උන්වහන්සේ ට හැමෝම ඇති හැකි අයුරින් අවශ්‍ය වන පිරිකර ද්‍රව්‍ය පූජා කලා.මොකද අපිට දැනගන්න ට ලැබුනු විදිහ ට ඒ ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා වැඩ වෙසෙන්නෙ බොහොම දුශ්කරතා මධ්‍යයේ මීමුරේ කියන්නෙ ලැබෙන දාන,පිරිකර වගේ දේවල් පවා හරියාකරව හොයල බලන්න අමාරු මිනිස්සු ජීවත් වෙන අවම පහසුකම් වලින් යුතු ගම්මානය ක් උනු නිසාවෙන්. කොළඹ විශ්ව විද්‍යාලයේ කොල්ලො කෙල්ලො කියන්නෙ කවදත් කරන මොන දේ උනත් පුලුවන් උපරිමයෙන් ඵලදායි ව කරන්න වෙහෙසන පිරිසක්.පිංකමක් උනත් එහෙම යි.එනිසාම දෝ නිවැරදි දහම් මඟ පිය මනින මේ උතුම් යතිවරයාණන් වහන්සේලාගේ දිවි පෙවෙත පහසු කරලනු පිණිස පිරිකර පූජාව ට වැඩි යමක් කිරීමේ අවශ්‍ය තාව අපි කාගෙත් හිත්වල පැලපදියම් උනා.
ඉතිං මේ ගැන වැඩිදුරටත් සොයා බැලීමේ ප්‍රතිඵලයක් විදිහ ට තමයි ආරණ්‍යට අඩූපාඩුවක්ව පැවති ඒ වෙනකොටත් ලැබෙන සුලු සුලු ආධාරවලින් වැඩ ඇරඹිලා තිබුනු පිවිසුම් මාර්ගයක් හදන වැඩේට Leo Rotaract ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එහෙ ගිහින් අපිට හැකි අයුරින් දායක වෙන්න ඕනෙ කියල සැලසුම් කෙරුණ.
නිර්මල නිවන් මග පිය මනින උන්වහන්සේ ලාට ධර්ම දේශනා ,පිණ්ඩපාය පිණිස නියරවල් උඩින් පොඩි පාලම් වලින් යන්න තිබ්බ ඒ දුෂ්කර පාර හදල දෙන්න දායක වෙන එක ලොකු පිංකමක් වෙන නිසා අවුරුදු නිවාඩුවටත් අරුතක් එක්කරමින් අප්‍රේල් 8,9,10 මේ ගමන වෙනුවෙන් කැපකරන්න අපි තීරණය කලා.
නියමිත ගමන ගොඩක් දුෂ්කර හින්දා අපිට ගෑනු ලමයි එකතු කරගන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.ඒත් ඒ අයත් පුලුවන් හැමෝමත් පාර හදන්න යන ගමනේදි ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය පිරිකර ද්‍රව්‍ය ආදිය පූජා කරමින් පිංකමට සම්මාදම් උනු බවත් මෙහිලා සඳහන් කල යුතුමයි.
මේ විදියට ලකලෑස්ති වෙන අතරෙ මීමුරේ යන්න අපේ සෙට් එක ඇඟිලි ගනිමින් සිටි අප්‍රේල් 8 වෙනිදා උදා උනා.කලයුතු දහසකුත් එකක් වැඩ සියල්ල පසෙකට කරමින් Leo Rotaract දෙකෙන්ම තෙවන හා දෙවන වසර විද්‍යාපීඨ සිසුන්ගෙන් සැදුම් ලත් 12 බැගින් වූ කණ්ඩායම් 2ක් එදා පාන්දර එකට එකතු වෙලා ගමන් ඇරඹුවා.Batch 2ක් ,club 2 ක් උනත් එතැන් සිට දින 3ක කාලය ගත උනේ පොදු අරමණක් වෙනුවෙන් හැමෝම එකම සහෝදර බැම්මකින් එකට වෙලමින්.පැය කිහිපයක ඒකාකාරී බස් ගමනක් අවසානයේ හුන්නස්ගිරියේ ලද මද ඉසිඹුවකින් පසු safari cab 2 කින් මීමුරේ ගම්මානය වෙත ඇදෙන නකල්ස් කඳු අතරින් විහිදුනු දුශ්කර මාවත දිගේ 30km ක පමන ගමන ඇරඹුනා.ටිකක් දුර එහෙම යද්දි සිග්නල් නැතුව යන බව අපිට කලින්ම දැනුම් දීල තිබුන නිසා ඊට කලින් ගෙදර අය දැනුවත් කිරීමට අමතරව තව බලන් ඉන්න අයව අස්වැසීමේ රාජකාරි කටයුතු වලත් නවතම තත්වය status මගින් සකල ප්‍රජාව දැනුවත් කිරීමටත් ඇතැමෙකු අමතක කලේ නම් නෑ.සිග්නල් නැතුව ගියාට පස්සෙ ඒ වෙත එබෙන ඇස් වලටත් වඩා නිදහසක් තමන්ව පාවිච්චි යට ගත්ත දවසෙ පටන් නොනවත්වා රාජකාරි වල නියැලුනු mobile phones වලට ලැබුන බවට නම් සැකයක් නෑ.කාලය ගත වෙත්ම වල ගොඩැලි පිරුනු මාවතේ ගමන දුෂ්කර වෙත්ම කැබ් රිය ඇතුලෙ එහෙට මෙහෙට විසිවෙමින් ගිය ගමන දුෂ්කර බව අබිබවා ගිය ත්‍රාසය හා භීතිය කැටිඋනු අපූරු අත්දැකීමක් මතකයට එක් කරමින්.කැඩී බිඳී ගිය මාර්ගයක වංගු ද කෙලින් කරමින් රියදුරු දෙපලගේ ශූර රිය පැදවීමේ හැකියාව විසින් අධිවේගී මාර්ගයක අත්දැකීම් ද ඊට එකතු කලා.ගමනට කලින් බඩවල් එහෙම සුද්ධ කරගෙන කෝකටත් ලෑස්ති පිට ඉන්න සැලකිලිමත් වෙලා හිටපු හින්දා අර කලින් කිව්ව විදිහේ ගමනක් අතරතුරේ පවා හාත්පස දර්ශනීය දසුන් නෙත් පුරා විඳගන්නට ඉඩහසර සලසගන්නත් කට්ටිය ට පුලුවන් උනා.අතරමග තැනක දෙකක නවත්තල ගමන් විඩාව මදකට නිවාගන්න ගමන් මනස්කාන්ත දසුන් කිහිපයක් කැමරා කාචවලට හසු කරගන්නටත් අපිට අමතක උනේ නෑ.සිහිලැල් දිය පාරක් අසබඩ නවතා සොබාදහම ආස්වාදනය කරමින් ගත් ආහාර වේලකිනුත් ගමන සන්තර්පණය උනා.දන්න විදිහට සින්දුත් කියමින් කොහොම හරි හැන්දෑ අහස එබිකම් කරන්නට කලියෙන් මීමුරේ ගම්මානය ට සේන්දු වෙන්නට අපිට පුලුවන් උනා.එනිසාම සූරිය අරණ චිත්‍රපටය රූගත කිරීමට ද තෝරාගත් ස්ථානයක් වෙත ගොස් පෙර අත් නොවිඳි අයුරින් දිය පාරක් ඔස්සේ ලිස්සන ගල් බෑවුමක් මතින් රූටා යමින් අපූරු විනෝදාස්වාදයක් ලබන්නට අපේ කට්ටියට ඇති තරම් වෙලා ඉතුරු වෙලා තිබුනා.(නොගිය කෙනෙක්ට දුක උපදවන සුලු ඒ සොඳුරු මතක පෙල දැන් ඔබට සම්මා වායාම ඡායාරූප ඇල්බමය තුලින් නරඹන්න පුලුවන් )
මලකෙලියක් වූ ඒ දියකෙලියෙන් අනතුරු ව අපි නවාතැන් පහසුකම් සලසා ගෙන සිටි නිවස වෙත පැමිණියා.එහි පිරිසක් ඉවුම් පිහුම් කටයුතු වලට නතර වෙද්දි සෙස්සන් පසු දිනට නියමිත ව තිබූ පාර සකසන ශ්‍රමදානය සඳහා පෙර කී දින අපවෙත බණට වැඩි අප හිතවත් ස්වාමීන් වහන්සේ වෙතින් උපදෙස් ලබාගැනීමට ආරණ්‍ය වෙත පිටත් උනා.ඒ ගිහින් එන ගමනේ දී අපේ පිරිසට මඟ දෙපස උන් කූඩැල්ලන් වෙනුවෙන් කුඩා පරිමාණයෙන් හෝ ලේ දන් දීමේ පිංකමක නිරත වීමට සිදුව තිබුනා.මේ අතරතුරේ තමයි කැම්පස් පැමිනි මුල් දවස්වල එකිනෙකාගෙ විස්තර,හැකියා දැන හඳුනාගන්න සමයේ පටන් වසන්ව තිබූ ලහිරු හා ශාන් තුල පැවති වටිනාකියන සැඟඋනු දක්ෂතාවක් එලියට එන්නට පටන් අරන් තිබුනෙ.එදින රාත්‍රී ආහර වේලේ සිට යලි මීමුරෙන් පිටත්ව යන තුරු අපේ සෙට් එකට ගෙනැවිත් තිබූ සීමිත ආහාර ද්‍රව්‍ය ආදිය මැනවින් කලමණාකරණය කරමින් රසයෙන් හා ගුණයෙන් අඩුවක් නොකර අවශ්‍ය ආහාර පිලියෙල කලේ අපි හැමෝවම පුදුමයටත් සතුටටත් පත් කරමින්.පජී අයියා විසින් සිය දිවට දැනෙන රසය උදෙසා පිරිනමනු ලබන ප්‍රමිති සහතිකය හිමි කරගැනීමට ද ඔවුන් දෙපල සමත් උනා.ඔවුන්ගේ ඉවුම් පිහුම් සාර්ථක කරගැනීමට අපේ ඉතුරු අයගෙන් කිහිප දෙනෙකුගේ සහයත් හිමි උනු බව නොකිව්වොත් අඩුවක්.
අපි කරන්නට යන පුණ්‍ය කර්මය ගැනත් අපේ සෙට් එක ගැනත් පැහැදිලා උන්නු නවාතැන්පලේ හිමිකරු සරත් අයියා ස්වාමීන් වහන්සේ ගෙ අනු දැනුම මත, සැලකිය යුතු මුදලක් ගෙවා වෙන් කරගත යුතු ගැමි සෞන්දර්යයෙන් අනූන වටපිටාවකින් හෙබි සුන්දර ගැමි ගෙදර ක් ද අපිට නවාතැන් ගැනීමට නොමිලේම ලබා දීල තිබුණ. එහි පැවතුනු නිස්කලංක භාවය සැබවින්ම අපසිත් වශී කරවන සුලු උනා.ඊටම එක්ව කඳු වලල්ලකින් සිතිජය සීමාඋන රාත්‍රී තරු පිරි අහසේ චමත්කාරය තරු පන්තියේ හෝටලයක් පරදවන සුවදායි බවක් නෙතටත් සිතටත් ගෙන දුන්නා.පසුදින උදෑසන අවදි වූ විට කඳු හෙල් ගස්වැල් පිස හාමා එන නැවුම් වායු දහරාවලින් පෙනහලු පිරී ගියේ තව නොබෝ වෙලාවකින් ඇරඹීමට නියමිත ව තිබූ ශ්‍රමදාන යට ජීවයක් එක් කරමින්.වෙනදා නාගරික පරිසරයක උදෑසන ඇසෙන විවිධ සද්ද බද්ද වෙනුවට ඒ හිමිදිරි උදයේ එහි පැවතියේ කන්කලු විහඟ ගී ගැයුමන් පමනක්ම විය.උදෑසන හිරු කිරන වැටි හරිත පැහැයෙන් බැබලුන පරිසරය වෙනදට උදේ නැගිට්ට ගමන් බුකියේ උඩ පහල ගිය ඇස්වලට ත් තොරතෝංචියක් නැතුව බාහිර ලෝකය සමග ඇලුන ගැටුන හිත්වලටත් විවේකය ක් අත් කර දීමට සමත්ව තිබුනේ එක්සත්ව එක්සිත්ව පැමිනි පිංකමට සිත් එක්තැන් කරමින්(අත් විඳි මිහිරියාව මදකින් හෝ සමීප කරන්නට මෙපරිද්දෙන් ලියන් ආවත් මේක මෙහෙම ගිහින් සාහිත්‍යය මය ප්රකාශනයක් වෙන්න කලින් ව්‍යාපෘතියෙ ඉතුරු ටිකට මෙතැන් සිට සක්ශිප්තව පිවිසීම හොඳ යි වගේ)
ඉතිං වැඩි වෙලා නොගෙන උදෑසන ආහාරය ත් සප්පායම් වෙලා කට්ටිය ම වැඩට බැස්ස.ඒ වෙද්දි පහල ගම්මානයේ ඉඳන් තුරුගොමු අතරින් ඉහලට ආරණ්‍ය දක්වා සිවිල් ආරක්ශක බලකා නිලධාරීන්ගෙ සහයෙන් පාරේ ඉදිකිරීම් කටයුතු ඇරඹිලයි තිබුනෙ.අපි කට්ටිය ට පැවරිලා තිබුනෙ පාරෙ ඉතුරු ටික හදාගන්න අවශ්‍ය වෙන පහළ ගොඩගසා තිබූ ගල් හා වැලි ඒ දවසෙ වෙලාව තියෙන හැටියට පුලුවන් තරමක් උඩට අදින්න.සැලකිය යුත් බරක් සැලකිය යුතු දුරක් ඉහලට ගුරුත්වයට එරෙහිව යමින් ගෙනයාම බැලු බැල්මටම සැලකිය යුතු අභියෝගයක් උනා.ඒත් Leo – Rotaract එකමුතුවෙන් අපි සැලකිය යුතු පිරිසක් එකතු වෙලා හිටියෙ කෙසේ හෝ පුලුවන් උපරිමෙන් ඒ වැඩේ කරන්න .ඉතිං එතැන් සිට සහෝරත්වයේ දෑත් වල ජවයෙන් උරහිස්වල ආධාරයෙන් උදේ සිට හවස ඉර ගොම්මන් වීමට ආසන්න වන තෙක්ම හාල්/පෝරමලු වලට පැටවුනු ගල් හා වැලි ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු උනාටත් වඩා වැඩි ප්‍රමාණයක් පහල සිට ඉහලට ගමන් කලා.ඇතැම්විට ගත දැඩිව වෙහෙසට පත්ව සිටියද යලි යලිත් අප අදාල කාර්යය කෙරෙහි උනන්දු කරවූයේ අප සිත් තුල මේ සම්මා වායාම ය කෙරෙහි පැවති දැඩි අධිෂ්ඨානයයි. විවේකයක් ගත්තේ නම් ඒ අසලින් ගලා ගිය කුඩා දොල පහරකින් පවස නිවාලීමටත් දිවා අහාරයටත් ස්වාමීන් වහන්සේ විඩාපත් අප වෙනුවෙන් සකස් කර දුන් සිසිල් බීම සංග්‍රහය භුක්ති විඳීමටත් ය.කූඩෑල්ලන් ද සිතූ තරම් බාධා නොකර පිංකමට සහය දැක්වූවා.
ඉඳ හිට හමු උනු ගැමියන් ද ස්තූති පූර්වක බැල්මකින් යුතුව අපගේ කාර්ය අගය කරනුත් වරක් රා පදමට මත්ව සිටි අයෙක් විඩාව මොහොත කට අමතක කරවමින් පිරිසට විනෝදය සපයනුත් දැකගත හැකි උනා.දවස තිස්සේ සිදුකල මහත් පුණ්‍ය කර්මයක සතුට භුක්ති විඳිමින් ඇඳිරි වැටෙන්නට ආසන්නව මහන්සිය දිය කර හැරියේ ඇළ පහරක සිසිලස විඳ ගනිමින්.ගතේ ස්පර්ශ වූ ගමන් වඩාව අතුරුදන් කරවන සුලු ඒ ජලපහස ලැබීම වෙනදට දිය නෑමට දැඩි මැලිකමක් දක්වන්නන් පවා මගඇරගත්තේ නැහැ.ඉතිරිව තිබූ යම් විඩාවක් උනේ නම් එයද එදින රාත්‍රී භෝජනයට පසු ගිනි මැලයක් දෙපස හිඳ රාග තාල පදමට අල්ලමින් ගැයූ ගී හඬත් සමග වාතලයට මුසුව වියැකී යන්නට ඇත.කෑම් බීම් වලින් පිරී තිබුනු කුසත් පිනෙන් පිරී සාමකාමී ව තිබූ හිතත් වෙනදට වඩා සුව නින්දක් වැඩි පමාවක් නැතුව ම ගෙනාආවා.පසුදින උදෑසනම පිබිදුනේ පෙරදී කතිකාකරගෙන සිටි පරිදි ගැමි සිරියාව තවදුරටත් නැරඹීමට යන රිසියෙන් ය .සරුසාර කෙත්වතු මැදින් පුරාතනයේ සිට නූතනය වෙත පියමනිමින් සිටි ගැමි නිවෙස් අතරින් උස්ව නැගීසිටි පුරාවෘත්ත වලට ද ප්‍රසිද්ධ ලකේගල පෙනෙන මානය තෙක් අප පිරිස ඇවිද ගියේ උන්ගේ තනියට අප සමග පැමිනි බලු නඩයක් ද සමගය .සමහරු පසුව බලමින් මතක විඳින්නට සොඳුරු සේයාරූ එක් රැස් කිරීමට යුහුසුළු වන අතරෙ සමහරු පවතින මොහොත මග හැර යා නොදී පරිසරයේ සුන්දරත්වය තව තවත් විඳගත්තා.
ආපසු පැමිනීමෙන් පසු එදිනට නියමිත ව තිබූ ප්‍රධානම කටයුත්ත වුනේ ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලාට දහවල් දානය සකසා පිලිගැන්වීමයි.අපගේ කෝකිවරු දෙපලගේ ප්‍රධානත්වයෙන් සෙසු පිරිසගේ ද සහය ඇතිව එම කටයුතු මැනවින් සිදුඋනා .ගෙනැවිත් තිබූ පිරිකර පූජා කිරීම ද සිදු උනා.දානමය පිංකම අවසානයේ සිදුකල කෙටි වූත් වටිනා වූත් ධර්ම දේශනයෙන් අනතුරුව කලා වූ මහත් පින් අනුමෝදන් කරවූ අතර අපගෙ අනාගට ආශිර්වාද කරමින් පිරිත් නූල් ද ගැටගසා ව්‍යාපෘතියකට එහා යමින් සිදුකල උතුම් වෑයමේ නිමාව සනිටුහන් කලා.
එදින හවස අපි මීමුරේට සමු දුන්නෙ තෙදිනක් පුරාවට රැස්කරගත් කාලයටත්,ධනයටත්,ශ්‍රමයටත් උපරිම අරුතක් එක් කල මතක ගොන්නට අමතරව එකිනෙකා අතරේ වර්ධනය කරගත් හිතවත්කම් රැසක් ද සමගින්.
සටහන නිමාකරන්නේ මේ ගමනේ මුල සිට අග දක්වාම අවශ්‍ය සියල්ල සොයා බලමින් සාර්ථක ව සිදු කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කල විරංග අයියා සහ සුදේශ් අයියාටත් දායකත්වය දැක්වූ සෙසු සැමටත් විශේෂ ස්තූතිය පිරිනමමින්..
තෙරුවන් සරණයි!!!!
~ ජනිත් කේ. චතුරංග ~
Leave a Reply