මිනිසා අනෙකුත් සත්වයන්ගෙන් වෙනස් වන්නේ මනසින් උසස් නිසයි. මිනිසා හසුරුවීමට හේතුවන සිතුවිලිවල ගබඩාවක් වන සිත පාලනය කරනු ලබන්නේ මොළයෙන්. මොළයේ සිදුවන යම් රසායනික වෙනස් වීමක් හේතුවෙන් මනසේ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවීමට පුළුවන්. එවන් පුද්ගලයන් නිසි ප්‍රතිකාර කෙරෙහි යොමු කිරීමෙන් එම තත්ත්වයන් සම්පූර්ණයෙන් යථාතත්ත්වයට පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ Rotaract සංගමයේ අප, මාර්තු මස 10 වන දින වෙන්කලේ එවන් වූ පිරිසක් වෙනුවෙන්ම වන ‘ස්නේහ’ ව්‍යාපෘතිය සඳහාමය. ඔවුන් මුණ ගැසීමට අප තෝරාගත්තේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්යාතනයයි.
එහි ගිය අප සමඟ ඔවුන් එසැණින් කුළුපග වූයේ ජීවිතයේ මුල් වරට එවන් ස්ථානයකට පිය නැඟූ අප බොහෝ දෙනෙකුගේ සිත් තුළ වූ චකිතයන් සියල්ල මකා දමමින්. ඒ මුහුණුවල ඇඳුණු අව්‍යාජ සිනාවන් පසුපස ඔවුන්ගේ නොකී කතාවන් බොහෝ තිබෙන්නට ඇත. ඒ භූමි සීමාව ඇතුළත ඔවුන්ගේ ජීවිත වෙනමම ලෝකයක් ලෙස ඔබට සිතෙනවානම් එක් වරක් ඒ භූමියට ඇතුල් වී බලන්නට අප ඔබට ආරාධනා කරනවා. ඔව්, ඔබට වෙනසක් දැනේවි මුලින්, මට දැනුණා වගේම. නමුත්, ඔවුන් හුදෙක් අප වැනිම මිනිසුන් බව අවසානයේ ඔබටත් පසක් වනු නිසැකය.
උදෑසනින් අවදි වී, පිරිසිදු වී, ආහාර ගෙන පැමිණ තම තමන්ගේ ආගම අදහන ඔවුන් දවස ආරම්භ කරන්නේ හරිම සැහැල්ලුවෙන් බව අපට පෙනී ගියා. ඔව්, ඔවුනට මානසික ව්‍යාකූලත්වයක් තිබෙනවා වන්නට පුළුවන්. නමුත්, ඔවුන්ගේ නවාතැන තුළ අපට අහිමි මානසික නිදහසක් ඔවුනට ලැබී ඇති බව විටෙක අපට හැඟී ගිය කරුණක්. අප සමඟ ඔවුන් ගත කළ කාලය තුළ ගීත ගයමින්, නර්තනයේ යෙදෙමින්, අපේ සොයුරු සොයුරියන් සමඟ හරි හරියට දොඩමළු වෙමින් ඔවුන් අපට පසක් කරනු ලැබුවේ ඔවුන්ද හුදෙක් මිනිසුන් බවමයි. නේවාසික ජීවන රටාවට බැඳී සිටින ඔවුන් බාහිර සමාජය සමඟ ගැටෙන අවස්ථාන් අල්පය. අප ආපසු පැමිණෙන විට ‘ආයෙත් අපිව බලන්න එන්න’ යැයි ඔවුන් පැවසුවේ ඒ නිසා වෙන්නැති.ඔවුන්ගේ ඒකාකාරී ජීවන රටාවට පැය කීපයක් ඇතුළත ඔවුන් රිසි පරිදි සතුට එක්කරන්නට ලැබීම පිළිබඳව අප තෘප්තිමත් වන්නේ ඒ නිසයි.
සාමාන්‍ය රෝගියෙකුට හිමි සියලු අයිතීන් ඔවුන්ටත් හිමි බව විටෙක සමාජයට අමතකව යාම නම් කණගාටුවට කරුණක්. නුදුරු දිනෙක මේ රෝගී තත්ත්වයෙන් මිදී අප සමඟ සුපුරුදු ලෙසින් සමාජයට මුහුවන්නට ඒ හිත්වල තාමත් අහිංසක බලාපොරොත්තු දළුලන බව එදා අපට හොඳින් වැටහුණා. ඔවුන් ඒ සඳහා පළපුරුදු වෛද්‍යවරුන් යටතේ හොඳින් සූදානම් වෙනවා. නමුත් ගැටලුව නම් ඔවුන් හෙට දින යළිත් මේ සමාජයට ආදරයෙන් පිළිගන්නට ඔබත් මමත් සූදානම් ද යන්නයි. අප සමඟ සම්බන්ධ වූ වෛද්‍යතුමිය ප්‍රකාශ කල පරිදිම මෙය තවත් එක් රෝගයක් පමණි. හෙට දින මෙම සටහන තබන මා හෝ මෙය කියවන ඔබ වුවත් ඒ තත්ත්වයට පත් වීමට පුළුවන්. එලෙසම සිහි තබා ගත යුතු කරුණ නම් එය සම්පූර්ණයෙනම යථාතත්ත්වයට පත් කිරීමට බොහෝදුරට හැකියාවක් පවතිනවා. එසේනම්, සම්පුර්ණ සුවය ලද පසුවත් ඔවුන් දෙස වෙනත් කෝණයකින් බැලීම කොතෙක් මානුෂිකද යන්න ‘මනසින් උසස්’ යැයි සැලකෙන ඔබත් මමත් මොහොතක් සිතා බැලිය යුතුයි. අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්යතනයේ වෛද්යතුමියගේද අදහස නම් ඒ ආකල්පමය වෙනස ඇති වීමට නම් බාහිර සමාජය නියෝජනය කරන ඔබ ඔවුන් සමඟ මොහොතක් හෝ ගතකළ යුතු බවයි.
ඉතින් එන්න, යථාර්ථය අත්දකින්න ඔබත් මොහොතකට ඇවිත් යන්න…
ඔබට ඇරයුම් කරමින් මේ සටහන නිමා කරන්නම්.
~ සලුනි චනීශා ~
Leave a Reply