පුංචි ඇස් ගොන්නක්.. හිනා මල් ගොඩක්.. අපේ දිහාට හැරිලා.. හරියට එයාල ආදරෙන් බලන් හිටපු දවසක් ඇවිල්ල වගේ.. ඒ ඇස් වල ලොකූ අරමුණක් නොතිබ්බට, ලොකූවට දෙයක් නොතේරුණාට ආදරය දැනෙන පුංචි හිත් ගොඩක් වග තේරුම් යන්න මිනිත්තු කීපයක් හොඳටෝම ඇති. ඒ Rotaract ජීවිතේ හොඳම දවසක්.. පුංචි එයාලට “සෙවණ”ක් වුණ කෝට්ටෙ සෙවණ ළමා නිවාසයේ සොයුරු සොයුරියන් එක්ක ගත කරපු දවස.
කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ Rotaract සමාජයෙ අපේ කට්ටිය කැම්පස් එකට එකතු වෙලා උදෙන්ම පිටත් වුණේ කෝට්ටෙ සෙවණ ළමා නිවාසයට යන්න. එතෙන්ට ගිය අපිට දකින්න පුළුවන් වුණේ විවිධාකාර වූ ශාරීරික නොහැකියාවන් නිසාවෙන් ජීවිතේ එක් අකාරයක අත්දැකීම් කොටසක් අහිමි වෙලා තිබ්බත්, පුළුවන් හැම විදියකින්ම ජීවිතය විඳින්න උත්සාහ කරන පොඩ්ඩො පිරිසක්.
අපි යද්දි කට්ටියම ලෑස්ති වෙලා පිටත් වෙන්න ඇඟිලි ගැන ගැන හිටියෙ. අපි ගමන තවත් පරක්කු නොකර එහේදි එයාලට අම්මලා වුණු ළමා නිවාසය භාර මැඩම්ලාට වැඳලා ආශිර්වාද අරන් අයියලා අක්කලාගෙ යි වැඩිහිටියන්ගෙ යි උදවුවෙන් බස් එකට ගොඩ වුණා. දැන් අපි යන්න සූදානම්. ඒ ඇස් වල තිබ්බ දීප්තියෙන් බස් එකේ රවුමක් යන්න තිබුණ හදිස්සිය කොච්චර ද කියල අපිට පෙනුණා.
අක්කල අයියල කැම්පස් එකේ මොකද කරන්නෙ කියල එයාල අහපු බැරෑරුම් ප්‍රශ්න පත්තර යි, එයාලගෙ ජීවිත වල තිබ්බ ලස්සන හීන යි ගැන කතා බහ කරන ගමන් විහිළු තහලු කරමින් ගෙවපු ලස්සන දවසක් ඒ විදියට ආරම්භ වුණා. යන ගමන් අපේ අයියල අක්කල එක්ක සින්දු කියන්න, රස රස කෑම කන්න ත් මේ පොඩ්ඩන්ට අවස්ථාව ලැබුණා.
අපි පින්නවල අලි අනාථාගාරය තමයි අපේ චාරිකා ස්ථානය විදියට තෝරගෙන තිබුණෙ. අපි මුලින්ම ගියේ අලි ඇත්තු නාන තැන බලන්න. අයියලා අක්කලා වට කරගෙන පොඩ්ඩො කට්ටියම ගඟ පැත්තට ගියා. සමහර පොඩ්ඩො ගමන් කරන්න උදවුවට පාවිච්චි කරපු රෝද පුටු, ඒ වෙද්දිත් ලැම්බොගිනි,ෆෙරාරි කියල නම් කරගෙන යන කාර් රේස් එකක් බවට පත් වෙලා හමාරයි.
ගොඩක් අය එදා පළවෙනි පාරට තමයි එතනට ගිහින් තිබුණෙ. අයියල අක්කල ටික අලි නාවන එක ගැන යි වට පිටාව ගැන යි නංගිල මල්ලිලට ඕනිවටත් වඩා විස්තර කියල දෙනව මට ඇහුණා. කට්ටියම සෙල්ෆි ගහලා හොඳ විනෝදයක් අරගෙන ආපහු එන්න හැරුණා. එද්දි ලොකු වැස්සක් අපිට ටිකක් කරදර කලත් බාධක මැදින් ජීවිතේට මුහුණ දෙන එයාලට ඒක බාධාවක් වුණේ නැහැ. ඊට පස්සෙ අපි අලි අනාථාගාරය ඇතුලට ගියා. පුංචි අලි පැටවු කිරි බොන හැටි යි, තව අලි ඇත්තු දිහා යි පුංචි එයාල බලාගෙන හිටියෙ කටත් ඇරගෙන.
ඒ වැඩ ඉවර වෙලා අපි දවල් කෑම ගත්තා. පොඩ්ඩො ටිකට අයියලා අක්කල අනල කවපු බත් කටවල රස බලන්නත් අවස්ථාව ලැබුණා. කෑම් බීම් වැඩ ඉවර කරලා ඊළඟට අපි කට්ටියම රවුමට වාඩි වුණේ පොඩි සාජ්ජයක් දාන්න. බෙර සද්දෙ යි, අත්පුඩි සද්දෙනු යි, හිනා හඬවලිනු යි කන් පිරිලා යන්න එයාල ආසම කරපු සිංදු ගොඩාක් අපිට කියන්න පුළුවන් වුණා. අම්මල තාත්තල, අක්කල අයියල, නංගිලා මල්ලිල ඔක්කොම ලොකූ පවුලක් වගේ, සමූහ ඡායාරූපයක් අපේ ඩිජිටල් මතක සටහන් ගොඩට එකතු කරගන්නත් අපි අමතක කලේ නැහැ. වැහිබර ගතියත් එක්ක ආපු අඳුර මැද්දෙන් හවස් වෙද්දි අපි ආපහු එන්න පිටත් වුණේ Rotaract ජීවිතේ තවත් අරුත්බර ආදරණීය දවසක මතක බර හිතට අරන්.
ගතින් සම්පූර්ණ වුණත් සිතින් ආබාධිත මිනිස්සුන්ට ඒ පුංචි අහිංසක ජීවිත වලින් ඉගෙන ගන්න ලොකූ පාඩමක් තිබ්බා. පුංචි පුංචි අඩුපාඩුකම් තිබ්බත් පුළුවන් හැම වෙලේකම හිනා වෙලා ඉන්න, ඒ ඒ මොහොතේ ජීවිත් වෙන්න, ප්‍රශ්න අස්සෙන් ජීවිතය හොයාගන්න, හෙට දවසක් ගැන හීන දකින්න එයාල අපිට ඉගැන්නුවා. එදා දවස පුංචි එයාලටත් අපිටත් ජීවිතේටම අමතක නොවන දවසක් වගට ඒ මුහුණු වල ඇඳුණු හිනා මල් වගේම, අපේ හිතේ එකතු වුණු සුන්දර මතක ගොන්නත් මොනවට සාක්ෂි දරාවි.
-Rotaract සාමාජික සජිනි වසුන්දරා-
Leave a Reply